Wednesday, April 15, 2015

අවුරුද්ද

දිනය අප්‍රේල් 14 වසර 2015, අඟහරුවාදා දිනයක්

සිත් දින පොතෙන් බ්ලොග් දින පොතට සටහන් අංක 21

අවුරුද්ද...............

අද අළුත් අවුරුද්ද උදාවන දවසයි. 
දැඩි සත්කාර ඒකකයේ එක ඇඳක් හිස්ය. ඕනෑම  මොහොතක පැමිණිය හැකි තවත් අසාධ්‍ය රෝගියෙකුට ප්‍රතිකාරය සඳහා එය සූදානම්ව ඇත. 
රෝගීන් පරීක්ෂා කොට  ප්‍රතිකාර නියම කිරීමෙන් අනතුරුව මොහොතකට  කවුළුවෙන් පිටත බලා සිටියෙමි. 
වෙනදා ඉතා කළබලකාරී වීදිය අද හිස්ය.තොර ‍තෝංචියක් නැති නළා හඬද, දුමද, කඩිමුඩියේ එකිනෙකා පරයා යන්නට තනන වාහන තදබදයද නැත. ඉඳ හිට යන වාහනයකුත් කළාතුරකින් ඇවිද යන මිනිසෙකුත් හැර මුලු වීදියම හිස්ය. සන්සුන්ය. එනිසාම කිසිදාක නැති අමුත්තක්, අලුත් බවක් එහි දිටිමි.
පරණ සියල්ල අත හැර අළුත් වන්නට කියාදෙන අවුරුද්ද සමරන්නට සියල්ලන්ම නිවෙස් බලා ගොස් ඇත. ගෙවුනු සතිය පුරාවට අවුරුදු සමරන්නට ලක ලෑස්ති වූයේ එය උදා කර දෙන අලුත් බව, ප්‍රබෝධය සිහිකරමිනි.පරණ දේ ඉවත ලමින් ගේ දොර අස් පස් කොට පිරිසිදු කරමින්ද, අලුත් ඇඳුම් පැළඳුම් ‍රැස් කරමින්ද, පරණ කෝන්තර අමනාපකම් ඉවතලමින්ද මානසිකව මෙන්ම භෞතිකවද බලාපොරොත්තු වූයේ ඒ නැවුම් බවයි. ඒ ප්‍රබෝධයයි. පරණ සියල්ල හිස් කොට අලුත් දේ පුරවන්නට, පිළිගන්නට සියල්ල සූදානම්ය.

දසත විහිදෙමින් නොනවත්වා ඇසෙන්නට ගත් පිපුරුම් හඬින් මා තිගැස්සී අවදි වූයෙමි. අලුත් අවුරුද්ද උදා වී ඇත. කෙතරම් ප්‍රීතියක්ද? ඒ, සියල්ලන්ම එහි සතුට ප්‍රකාශ කරන හඬයි.

අඩ නින්දේම නැවත මා කවුලුවෙන් පිටත වීදිය දෙස බැලීමි. එය ඉතා කළබලකාරීය. තොර‍තෝංචියක් නැති නළා හඬද, දුමද, කඩිමුඩියේ එකිනෙකා පරයා යන්නට තනන වාහන තදබදයද, විවිධ කටයුතු සඳහා එහා මෙහා ඇවිද යන මිනිසුන්ගෙන්ද වීදිය පිරී ඇත.

එක්වනම දුරකථනය නාද වන්නට විය. එහා කොනේ වෛද්‍ය වසන්තාය. මාර්ග අනතුරකින් දැඩි ලෙස හිසට තුවාල වූ තරුණයෙකුට ප්‍රතිකාරය සඳහා  දැඩි සත්කාර ඒක්කකයෙන් ඇඳක් ඇය විමසයි. 
හිස්ව සූදානම් කොට ඇති ඇඳ ඒ තරුණයා වෙනුවෙන් ලබා දීමට එකඟ වී රිසීවරය තැබූ  මා රෝගියා බාර ගැනීමට සූදානම් වීමට යන අතර නැවත කවුලුවෙන් පිටත බැලීමි.  කළබලකාරී වීදිය හිස්ය.තොර ‍තෝංචියක් නැති නළා හඬද, දුමද, කඩිමුඩියේ එකිනෙකා පරයා යන්නට තනන වාහන තදබදයද නැත. ඉඳ හිට යන වාහනයකුත් කළාතුරකින් ඇවිද යන මිනිසෙකුත් හැර මුලු වීදියම හිස්ය. සන්සුන්ය. එනිසාම කිසිදාක නැති අමුත්තක්, අලුත් බවක් එහි දකිමි.

අලුත් අවුරුද්දක කිසිවක් අලුත් වී නැත. පරණ අවුරුද්දේ සිදුකල සිදු වූ සියල්ල එලෙසින්ම අලුත් අවුරුද්ද තුලත් සිදුවෙයි.අලුත් යමක් වී නම් ඒ පරණ අවුරුද්දත් අලුත් අවුරුද්දත් අතර කාලය පමණි. ඒ සියල්ල හිස් කොට පරණ දේ අත හැර සිටි කාලයයි. අලුත් යයි සිතා පරණ දෙයින්ම පුරවන්නටත් වැළඳගන්නටත් යාමෙන් අලුත් අවුරුද්දද පරණ වෙයි.ඒ බව තේරුම් ගන්නාතාක් වසරින් වසර මෙවන්ම කාලයන් උදා වෙයි. ඒ තාක් අපි අවුරුදු සමරන්නෙමු.

ඒ මට හිතෙන හැටිය.

Monday, October 17, 2011

ප‍ටු මාවත

දිනය; ඔක්තොබර් 17, වසර 2011, සඳුදා දිනයක්,

සිත් දින පොතෙන් බ්ලොග් දින පොතට සටහන් අංක 20

ප‍ටු මාවත..................

ජීවිතයේ අප විවිධ වූ කාල පරිච්ඡේදයන් පසු කරමු.
සතුට හා දුක පදනම්ව මේ කාලයන් හොඳ හා නරක ලෙස නම් කරමු.

කවුරුත් සතුටට ප්‍රිය වෙති. එනිසාම හොඳ කාලයන්ට ප්‍රිය වෙති.
මේ ප්‍රියතාවයම වෙනස්වීම නම් වූ යථාර්තය පිළිබඳ අවබෝධයෙන් අපව මුදවන්නට සමත්ය.
ඒ හේතුවෙන්ම කාලය නරක වන විට, පීඩාව හා පරාජය පැමිණෙන විට, බොහෝ දෙනා ඒ ගැන තැවෙමින් දැවෙමින් ඊට හේතු හොයන්නට පෙළඹේ.
මුදල් මත පදනම්ව ඇති සාර්ථකත්වයම උලුප්පා දක්වන සමාජ ක්‍රමයක් තුල අසාර්ථකත්වයට මුහුණ දීමට, එය පිළිගැනීමට තරම්වූ පුලුල් වූ මානසිකත්වයක් හා ස්වාධීනත්වයක් ගොඩනඟා ගැනීමට කෙනෙකුට ඇති අවකාශ අල්පය.


පසුගිය වසරක පමණ කාලය මාහට ඉතා නරක කාලයකි.

මේ කාලයේ ආරම්බය සටහන් වූයේ මා බිරින්දෑට හට ගත් අසනීපයකිනි. ටික කලක් තිස්සේ ඇගේ හිසෙහි වූ කුඩා ගෙඩියක වර්ධනයක් පෙන්වූ බැවින් ඒ ගැන පරීක්ෂණ කරන්නට පෙළඹුනෙමු. කරන ලද ස්කෑන් පරික්ෂණ සියල්ල රෝග විනිෂ්චයක් උදෙසා නිෂ්චිත නිගමනයකට පැමිණීමට තරම් පි‍ටුවහලක් නොවී, පිළිකාවක් හා පිළිකාවක් නොවන සාමාන්‍ය වර්ධනයක් යන රෝග නිෂ්චයන් දෙක අතර නැවතුනි. යම් හෙයකින් එය පිළිකාවක් වුණි නම් එය ඉතා භයානක තත්වයේ එකක් වන්නට බොහෝ ඉඩ තිබුණි. ශල්‍යකර්මයකින් එය ඉවත් කර පටක පරීක්ෂණයකින් නිෂ්චිත නිගමනයකට පැමිණෙන තුරු අප ගත කල කාලය පුදුමාකාරය. ඉතා හදිසියේ කිසිදු සූදානමකින් තොරව අහඹු සොයා ගැනීමක් වූ මේ අසනීපය අප ජීවිත හදිසි කැළඹීමකට ලක් කරන්නට සමත් විය. අප දෙදෙනාටම වෙන්වීම පිළිබඳ දෙගිඩියාව තදින්ම දැනෙන්නට විය. දරු දෙදෙනාගෙනුත් මගෙනුත් සමුගැනීමේ වේදනාව ඇයට මෙන්ම මටද මහත් ලෙස දැනුනි. මවක අහිමිව දරුවන්ගේ සිත් තුල හට ගන්නා වේදනාව ගැන සිතන විට අප තවත් වේදනාවට පත් වීමු.

බැඳීම් අපව කෙතරම් වේදනාවට පමුණුවන්නේදැයි පසක් කරවන්නට මේ අත්දැකීම සමත් විය. එහෙත් කාලය මේ සියල්ල අතරේ ඉදිරියට ඇදෙමින් පැවතුනි. අපට මෙසේ වෙන්නේ ඇයිද යන ප්‍රශ්ණය අසන්නට මා නොපෙලඹෙන්නට එකම එක හේතුවක් ලෙස මා සිතන්නේ මා අදහන හා මාගේ දැක්ම පදනම්ව ඇති කිතු දහම යැයි මට සිතේ. ප්‍රශ්ණයක් ආ කල නිෂ්චලව එක්තැන්ව ඒ දෙස බලා හිඳින්නට මේ දහම මා හට මහත් පි‍ටුවහලක් විය.


තවත් ටික කලකට පසු මාගේ පුතු හට කුඩා ශල්‍යකර්මයකට මුහුණ දෙන්නට සිදු විය.
තවත් මාස කිහිපයකට පසු මාගේ පියා හදිසියේ අසනීප විය. ඉතා අසාධ්‍ය තත්වයෙන් දැඩි සත්කාර ඒකකයේ පවා ප්‍රතිකාර ලබන්නට ඔහුට සිදු විය. ඉන් තරමක සුවයක් ලත් ඔහු දැනට සතියකට පමණ පෙර ශල්‍යකර්මයකටද මුහුණ දුනි.


එක් ප්‍රශ්ණයක් අවසන ඊට පසුපසින් තවත් ප්‍රශ්ණයක් පැමිණි මේ කාලය දෙස මා ලද මේ විරාමය තුල නැවත හැරී බලන්නට සිත් විය. බොහෝ විට අපට ප්‍රශ්ණ වලින් පලා යා නොහැක. වළක්වා ගත හැකි යැයි සිතුවත් බොහෝමයක් ප්‍රශ්ණ එසේ නොවේ. එවන් අවස්ථා වල මුහුණ දීම හැර වෙනත් කල හැකි දෙයක් නොමැත.

ප්‍රශ්ණයකට මුහුණ දීමේදී විවිධ සාධක ඒ සඳහා බලපායි. තම අධ්‍යපනය, වයස, අත්දැකීම්,ඇදහීම්, සමාජ සංස්කෘතික වටපිටාව වන් වූ බොහෝ කාරණා ඒ අතර වෙයි. ඒ හේතුවෙන්ම අයෙක් ප්‍රශ්ණයකට මුහුණ දෙන ආකාරය තවත් අයෙක් ප්‍රශ්ණයකට මුහුණ දෙන ආකාරයෙන් වෙනස් වෙයි. සමාන ප්‍රශ්නයකදී දෙදෙනෙක් එකිනෙකට වෙනස් අයුරින් මුහුණ දෙන්නේ මේ විවිධ වූ සාධකයන් නිසාය.


ජීවිතය, සාර්ථකත්වය මෙන්ම අසාර්ථකත්වයද කැ‍ටුව යන ගමනකි. සාර්ථකත්වයේදී සතුටට පත්වීමටත් අසාර්ථකත්වයේදී දුකට පත් වීමටත් ඇති නැඹුරුතාවය නිසාම දුකින් මිදීමට වඩා සතුට සදා ලං කර තබා ගැනීමට මිනිසුන් පෙළඹෙති. සතුට පවත්වා ගැනීමටත් අහිමිවූ සතුට නැවත ලං කර ගැනීමටත් මිනිසුන් අපමණ වෙහෙසක් දරති.සතුට සදාකල් පවත්වා ගැනීම යථාර්තයක් නොවන බැවින් සිදුවිය යුත්තේ, දුකින් මිදීම හෙවත් දුකට ගොදුරු වීමේ ප්‍රවණතාවයෙන් මිදීමට උත්සාහ ගැනීමයි.

නුමුත් සැබෑවටම ඒ මාවතට පිළිපන් මිනිසුන් කෙතරම් අල්පද?

"ප‍ටු දොර‍ටුවෙන් ඇතුල් වන්න. විනාශයට යන දොර‍ටුව විශාලය, පාරත් පළල්ය. එයින් ඇතුල් වන්නෝද බොහෝය. එහෙත් ජීවනයට යන දොර‍ටුව ප‍ටුය, පාරද අවහිරය; එය සොයාගන්නෝ ස්වල්ප දෙනෙක් පමණකි." යේසුස් වහන්සේ එසේ පැවසූ සේක.....

මේ කාලය තුල ජීවිතයේ මා ලද අත්දැකීම් තව දුරටත් ඒ ප‍ටු මාවතේ ගමන් කිරීමට ධෛර්‍යයක් හා මඟපෙන්වීමක් වූවායැයි මට සිතේ.

ඒ මට සිතෙන හැටිය.

Wednesday, October 13, 2010

නින්ද නැති ‍රැයේ

දිනය; ඔක්තොබර් 13, වසර 2010, බදාදා දිනයක්,

සිත් දින පොතෙන් බ්ලොග් දින පොතට සටහන් අංක 19

නින්ද නැති ‍රැයේ..............

වෛද්‍ය වෘත්තිය නිදි වර්ජිත රාත්‍රීන් කොතෙකුත් ඇති ‍රැකියාවකි.
මෙලෙස නිදි වරන සෑම දිනකම මාගේ සිතට නැගෙන ගීතයක් වන්නේ කපුගේ මහතා ගයන නින්ද නැති ‍රැයේ ගීතයයි. එම ගීතයේ අන්තර්ගතයෙන් කියැවෙන නිදි නැති රාත්‍රිය හා මාගේ නිදි වැරීම අතර කිසිදු සබඳතාවක් නොමැති වුවද, නින්දක් නොමැති වීමත් රාත්‍රියක් වීමත්, මේ ගීතය එවන් අවස්ථාවක මාගේ සිතට ඇතුලු වන්නට හේතු වනවා ඇත.

මෙම ගීතය මා මුලින්ම ශ්‍රවණය කලේ අට වසරේ ඉගෙනුම ලබන අවදියේදීය. ඒ යුගයේ මෙම ගීතය මට ලස්සන තනුවක් සහිත ගීතයක් පමණක් විය.

එහෙත් වයසින් මුහුකුරා යත්ම ගීත ශ්‍රවණයේදී මාගේ අවධානය ගීතයක පද වැලේ අරුත කෙරෙහිද යොමුවන්නට විය. ගීත වල අරුත වැටහෙන්නට පටන්ගත්දා සිට මා ගීත ඇසීම පසෙකලා ගීත රස විඳීමට පෙළඹුනෙමි. අරුත්බර ගීත සොයමින් ඒවායේ අරුත ගායකයාගේ කට හඬෙන් සහ සංගීතයේ ආධාරයෙන් වින්දනයට මා ලොල් වූයෙමි. ඇතැම් ගීත වල අරුත වින්දනයට එනම් ඒ හැඟීම් එයාකාරයෙන්ම දනවන්නට ගායකයා හා සංගීතඥයා දක්වන දායකත්වය හා සමත්කම ගැන මා විස්මයට පත්වීමි. නිතැතින්ම එවන් කට හඬවල් සහිත ගායකයින් මාගේ ප්‍රියතම ගායකයින් බවට පත්විය. එහෙත් අභාග්‍යක මහත වන්නේ අද නව පරපුරේ බිහිවන අති විශාල ගායක පරපුර තුල කටහඬෙන් හැඟීම් දනවන්නට සමත් වූවන් සිටින්නේ ඉතාම අතලොස්සක් වීමයි. ඇත්තෙන්ම නැතුවාම වාගේය. රිද්මය මුල් කරගත් ගීත සංස්කෘතියක් තුල එවන් ගායකයින්ට හා ගීතයන්ට අවකාශයක් නැතිද යන්න මට ගැටලුවකි.

ගීත රචකයින් ලියන්නාවූ ඇතැම් ගීතයන් තුල ඔවුන් ප්‍රකාශණයට අදහස් කල දේට ඔබ්බෙන් වූ බොහෝ දේ එම ගීත ශ්‍රවණයේදී මතුවන අවස්තා එමට ඇත.
එවන්වූ ගීත අතුරින් මා හට ද්විත්ව අරුත් දනවන ගීතයක් ලෙස කපුගේ ගයන නින්ද නැති ‍රැයේ ගීතය හැඳින්විය හැක.
මෙහි රචකයා වින්දනීය වූ ගීත රාශියක් සිංහල ගීත ක්ෂේත්‍රයට දායාද කල රත්න ශ්‍රි විජේසිංහ ය. සංගීතය ගුණදාස කපුගේ ගේමය.


නින්ද නැති ‍රැයේ.....සඳ කඳුලු මීදුමේ.......
හැංගිලා අඬන්නෙ ඇයිද ප්‍රථම ප්‍රේමයේ......
තාරකා දියේ ගිලී නිල් එළිය නිවේ.....
වැහි බිංදු වැටේවී.... රෝස පෙති කඩා හැලේ.......

කිළිපොලා යමින් සැලී යමින් නොනිම් සීතලේ....
තුරුලු වෙමි දෙනෙත් පියා.... ඔබගෙ උණුසුමේ..........
ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ....
හෙට උදේම අවදි වී යා යුතුව තිබේ.......

රැය ගෙවේ සඳත් නිවේ දුරයි ජීවිතේ........
ඉතින් අවසරයි මගේ පුංචි කුමරියේ......
ක‍ටුවලට දෙතොල් තියා මලක් නැති ගසේ.......
සිඹිමි එකම හාදුවයි සොඳුර එය මගේ........


නිදි නැති මංගල රාත්‍රියේ ප්‍රථම ප්‍රේමයේ මතකයන් අවදි වී වැලපෙන තම මනාළිය කඳුලු මීදුමක සැඟවී හඬන සඳකට උපමා කෙරෙයි.
තාරකා, දියේ ගිලුනු කල එහි නිල් එලිය නිවෙන්නා සේ කඳුලු පිරීමෙන් තාරකා වන්වූ ඇයගේ නෙතු යුගෙහි දීප්තිය නැතිව යයි.
වැහි බිංදු සේ කඳුලු කඩා වැටෙමින් රෝස පෙති වන් වූ ඇගේ දෙතොල් සලිත වෙයි.

වයසින් මුහුකුරා ගිය, ජීවිතයෙහි යථාර්තය අවබෝධ කර ගත් පරිණත වූ ඔහු (මනාළයා) මෙසේ පවසයි.......

මේ සියල්ල දකින මාගේ සිත කිලිපොලා යතත් කිසිවක් නුදු‍ටුවා සේ මා දෑස් පියා ගෙන ඔබ උණුසුම පතා තුරුලු වන්නෙමි.
සොඳුරිය...... ජීවිතය යනු සිහිනයක් නොවෙයි. එහි යතාර්ථය ක‍ටුක වුවද අප එයට මුහුණ දිය යුතුය.
එනිසාම ඔබගේ ප්‍රථම ප්‍රේමයේ සිහිනයෙන් ඔබ අවදි වී හෙටින් ඇරඹෙන අපගේ නව දිවියට එක්ව මුහුණ දෙමු.

මේ රාත්‍රිය තව ටික මොහොතකින් ගෙවේවි. මේ සඳත් නිවේවි. එලෙසම මේ ක‍ටුකත්වය පවතින්නේ ටික කලකටය.
එහෙත්, හෙටින් ඇරඹෙන අප ජීවිතය බොහෝ දුරය.
වෙනකෙකු නුඹේ සිත් කුසුම නෙලාගෙන ඇත. ප්‍රේමයේ සිත් කුසුම නෙලූ බැවින් ක‍ටු අත්තක් වන්වූ පුංචි කුමරියේ, මට ඉඩ දෙන්න, ඔහු මෙන්ම මමද නුඹට ආදරෙයි. එනිසාම ඔහුගේ හාදුව මෙන්ම මගේ මේ හාදුවද නුඹට උණුසුමක් ගෙන දේවි. ඒ හාදු දෙක අතර වෙනසක් නොහැ‍ඟේවි. එහෙත් ඒ හාදුව ඔහුගේ නොවේ මාගේය.

ඒ, ගීතයෙන් මතුවන එක් අර්ථයක්ය.

එලෙසම, තම ප්‍රථම ප්‍රේමය මල් ඵල ගැන්වීමට අපොහොසත් වූ අවාසනාවන්ත පෙම්වත් යුවලක අනියම් හමුවක් ගැන මේ ගීතයෙන් අරුත් ගැන්වෙන අපූරුව මෙසේ සටහන් කල හැක.

එහිදී ප්‍රථම ප්‍රේමයේ පෙම්වතා තම පෙම්වතිය අමතමින් මෙලෙස පවසයි.

මගේ සොඳුරිය........ ,
මේ නිදි නැති රාත්‍රියේ, අප ප්‍රථම ප්‍රේමයේ මතකයන් අතර සැඟවී නුඹ අඬන්නේ කිමද?
සඳක් වන්වූ නුඹේ මුහුණ කඳුලින් වැසී ඇත. තාරකා වන් වූ නුඹේ නෙතු යුගෙහි දීප්තිය කඳුලින් බොඳවී නිවී ගොස් ඇත.
වැහි බිංදු සේ කඳුලු කඩා වැටෙමින් රෝස පෙතිවන්වූ නුඹේ දෙතොල් සලිත වෙයි.

නුඹ නොමැති මා මිය ගොසින්ය. තනිකඩව මා ගෙවනා මේ ජීවිතය උණුසුමින් තොරය. ලෝකයා කුමක් කීවත් කලත් ඒ සියල්ලට දෑස් පියා, නොනිම් වූ සීතලෙන් කිළිපොලා යන මගේ ගතත් සිතත් නුඹේ උණුසුම සොයා නුඹට තුරුල් වෙයි.
එහෙත් සොඳුරිය, මේ මොහොත කොතරම් සුන්දර වුවත් අප ගෙවන මේ ජීවිතය සිහිනයක් නොවෙයි. එනිසාම මේ සිහිනෙන් අවදිවී ක‍ටුක වූ යථාර්තයට අප නැවතත් හෙට සිට මුහුණ දිය යුතුව ඇත.


මේ ‍රැය ගෙවේවි. මේ සඳත් නිවේවි. තව ටික මොහොතකින් අප මේ සුන්දර හමුව නිමා කල යුතුව ඇත. එහෙත් කළනොකිරෙන්න. මන්ද අප ජීවිතයේ තව බොහෝ දුරක් ඇත.
මගේ පුංචි කුමරියේ සියල්ල අමතක කර දමා ඉතින් මට අවසර දෙන්න. තාවකාලික වුවත් අප මේ මොහොත සතුටින් ගත කරමු. මා නෙලන්නට සිටි මේ ප්‍රේමයේ කුසුම වෙනකෙකු නෙලා ඇත.මලක් නොමැති ක‍ටු අත්තක ඵලක් නූපදී. එලෙසම අප මේ හමුව අපට ඵලක් ගෙන නොදේවි. තහනම් පෙමක් ක‍ටු අත්තකට දෙන හාදුවක් වැනිය. එතරම්ම භයංකරය. එහෙත් මා සොඳුරිය, ඒ ක‍ටු අත්තේ ක‍ටු වලට මා දෙතොල් තියා සිඹින්නේ නුඹට ඇති මාගේ අත්‍යන්ත ප්‍රේමය නිසාවෙනි. ඒ හාදුව කවදත් මා ඔබට දෙන ප්‍රේමයේ එකම හාදුවය.


මෙලෙසින් මේ ගීතයේ පද වැලෙන් එකිනෙකට හාත්පසින් වෙනස් වූ අර්ථ දෙකක් නිරූපනය වන අයුරු ඉතා අපූරුය. ඒ අපූර්වත්වයම මා මේ ගීතයට බැඳ තබන්නට සමත් වෙයි.

ඒ මට හිතෙන හැටිය......

Tuesday, October 12, 2010

මරණයේ දොර‍ටුපල්ලා

දිනය; ඔක්‍තෝබර් 12, වසර 2010,අඟහරුවාදා දිනයක්,

සිත් දින පොතෙන් බ්ලොග් දින පොතට සටහන් අංක 18


මරණයේ දොර‍ටුපල්ලා.............................


ජීවිතය හා මරණය අතර ඇත්තේ පුදුමාකාර සබැඳියාවකි.
ඒ සබැඳියාව නිසාම ජීවිතය පුරාවටම, මරණය ජීවිතය හා ලුහුබඳිමින් ඒ පසුපසම ගමන් ගනී.
ජීවිතය මරණයේ අත ගන්නා තුරුම ඔවුන් වෙන් වෙන්ව නුමුත් එක්ව ගමන් ගනී.
ජීවිතය හා මරණය අතර ඇති මේ අපූර්ව සම්බන්ධතාවය පිළිබඳ අවබෝධය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙයි. මේ අවබෝධයේ තරම මත එකිනෙකා ජීවිතය හෝ මරණය දෙස බලන ආකාරයද වෙනස් වේ.


රෝහලක දැඩි සත්කාර ඒකකයක් යනු ජීවිතයත් මරණයත් අතර සරණ මංගල්‍යය වලකාලන දුෂ්ඨයන් ( මරණයට එරෙහි ) පිරුණු ස්ථානයකි.
ජීවිතය හා මරණය අතර ප්‍රේමය ඔඩුදුවා, හොර රහසේම පැන යන්නට තනන විට එයට අකුල්හෙලනුවස් රෝගීන්ව මෙතැනට ගෙනැවිත් දමයි.

මමත් ඔවුන්ගේ ප්‍රේමයට එරෙහිවන දුෂ්ටයින්ගෙන් කෙනෙක්මි. අපගේ සටන ජයගන්නවා යනු ජීවිතය මරණයෙන් වෙන්කිරීමය. එහෙත් ඒ වෙන් කිරීම තාවකාලිකය. මන්ද කවදා හෝ දිනයක ඔවුන් නැවතත් හොරෙන්ම හෝ එළිපිටම එකතු වන බැවිනි.


මරණය හා ජීවිතය පිළිබඳව ඇති අවබෝධය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්ය. එයට පුද්ගල පෞරුෂ ලක්ෂණ මෙන්ම සමාජීය සංස්කෘතික ගති ලක්ෂණද බෙහෙවින්ම බලපායි.

විවිධාකාර වූ දෘෂ්ඨීන් සහිතවූද, විවිධාකාර සමාජ හා සංස්කෘතික පසුබිම් වලින් පැමිනෙන්නාවූද රෝගීන් හා ඔවුන්ගේ ඥාතී හිත මිත්‍රාදීන් ඇසුරට දැඩිසත්කාර ඒකකයේ මාගේ සේවා කාලය තුලදී මා හට ඉඩ ලැබෙයි. ප්‍රථිකාර කිරීම හැරුනු කොට මේ මිනිසුන් තුල පවතින විවිධත්වය හා විචිත්‍රත්වය කෙරෙහි මා බෙහෙවින්ම ඇලුම් කරමි.

මරණය හා ජීවිතය ගැන මිනිසුන් තුල පවතින විවිධාකාර දෘෂ්ඨීන් හා මතවාද දෙස මෙසේ බලා සිටින විට මා තුල ඒ ගැන පවතින ආකල්පයද විමසා බැලීමට මාහට අවස්තාව උදා වෙයි.
සෑම මිනිසෙක්ම බොහෝ විට ජීවිතය කුමක්දැයි හෝ මරණය කුමක් දැයි සිතන්නට පෙළඹෙන්නේ තමන් හෝ තමන්ගේ සමීපතමයෙකු මරණයට පත්වුවහොත් හෝ අසාධ්‍ය වූ විටය. එසේ සිතන විට ඔහුට ඔහුගේ පුද්ගලික අත්දැකීම් හෝ සමාජීය සංස්කෘතික බලපෑම් වලින් මිදීමේ අවකාශයක් උදා නොවෙයි. මේ බලපෑම් හේතුවෙන්ම ඔවුන්ට ජීවිතය හා මරණය අතර පවතින යථා සබැඳියාව ගැන අවබෝධයක් ලැබිය නොහැකි වෙයි. යම් හෝ අවබෝධයක් ලැබූවද කල් යත්ම තමා පෙර සිටි තැනටම තල්ලුවන්නේ මේ බලපෑම් හේතුවෙනි.

මරණය හා බැඳුනු වියෝව ඉතා වේදනාකරීය. එය කාටත් පොදු වේදනාකාරී අත්දැකීමකි. නමුත් මේ වේදනාවේ ප්‍රමාණය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන්නේ ඔවුන් ජීවිතය හා මරණය කෙරෙහි දක්වන ආකල්ප මතය.
ජීවත් වන සැවොම මිය යති. එහෙත් ඉන් අති බහුතරය ජීවත් වන්නේ තමන් මිය නොවන්නවුන් යන ආකල්පය මතය. සැබවින්ම එය ආකල්පයක්ද නැතිනම් සිහිනයක්ද යන්න මට ගැටලුවකි. මන්ද විටෙක ඔවුන් එම සිහිනෙන් අවදි වන අතර නැවතත් එම සිහිනයම දකින්නට පෙළඹෙති. මා මෙය සිහිනයක් යැයි සිතන්නේ ජීවත් වන කා අසලත් සිටින මරණය නොදැක සදා ජීවත්වන්නන් සේ සැවොම හැසිරෙන බැවිනි.

දුප්පත්-පොහොසත්, අඩු කුල-ඉහල කුල, උගත්-නූගත්, යහපත්-අයහපත්, ලස්සන-අවලස්සන, වාසනාවන්ත-අවාසනාවන්ත ආදී මෙකී නොකී විවිධත්වයන්ගෙන් හෙබි අයවලුන් අසාධ්‍ය වී මෙතැනට පැමිණෙති.
ඒ සැවොම විඳිනා දුක එකාකාරමය. ඔවුන් සැවොම මුහුණ දෙන මරණය එකාකාරමය. සැවොම මරණය ඉදිරියේ සමාන වෙති.
තමන් පිරිවරා මහා සෙනඟක් සිටියත්, තමන් හුදකලාව විසුවත්, මරණයට මුහුණදිය යුත්තේ තනිවමය. ඒ සැවොම තමන් ‍රැස් කල සියල්ල පසෙක ලා ජීවිතය හැර යති.

තැවෙමින්, දැවෙමින් , එකිනෙකා පරයායමින් මේ කෙටි ජීවිත කාලය මිනිසුන් ගත කරති. තමන් ‍රැකෙන්නට , තමන් උසස් වන්නට, තමනට ‍රැස් කර ගන්නට මිනිසුන් කොතරම් වලිකන්නේද? අනුන් පෙලන්නේද ? ඒත් ඒ කිසිදු මොහොතක ඒ සියල්ලෙහි ඇති නිෂ්ඵලත්වය බහුතරයකට නොතේරේ. එසේ තේරුනි නම් මේ ලොව මීට වඩා කෙතරම් සුන්දර වනු ඇත්ද?


වරෙක මට, මා මරණයේ දොර‍ටුපල්ලෙකැයි සිතේ. එසේ සිතෙන්නේ, මිනිසුන්ගේ ජීවිතය මරණය සොයා යන ගමනේ අවසන් දොර‍ටුව මුරකරන්නෙකු ලෙස මා සිටින බැවිනි.
මේ දොර‍ටුව කරා පැමිණ ඉන් නැවත හැරී ගිය හා දොර‍ටුවෙන් නික්මගිය මිනිසුන් හා ඔවුන්ගේ ලබැඳියන් ඇසුරෙන් මා ජීවිතයට උගෙන අවබෝධ කරගත් පාඩම ගැන මා ඔවුන්ට කෘතවේදී වෙමි.

ඒ අප කවුරුත් මැරෙන බවය.

එය කොතරම් සරල දෙයක්ද ?
ඒ සරලත්වය හේතුවෙන්ම අප බොහෝ දෙනෙකුට එය නොතේරේ.
ඒ නොතේරුම්කම නිසාම අප කවුරුත් අමරණීය මිනිසුන් ලෙස ජීවත් වන්නට
තනමු.

එනිසාම අප දිනපතාම මැරි මැරී උපදිමු.
විටෙක මමද එසේමය............

ඒ මට හිතෙන හැටිය................

Tuesday, September 28, 2010

නිරුවත

දිනය; සැප්තැම්බර් 28, වසර 2010 අඟහරුවාදා දිනයක්,

සිත් දින පොතෙන් බ්ලොග් දින පොතට සටහන් අංක 17

නිරුවත.....................


මා චිත්‍රපට විචාරයෙහිලා විශිෂ්ටයෙකු නොවෙමි. එහෙත් චිත්‍රපට නැරඹීමෙහිලා රුසියෙක්මි.

මේ ආශාව මොන කාලයේ කුමන හේතුවක් නිසා ඇරඹුනේදැයි විමසන්නට තරම් මා හට සිතක් පහල වී නැත.

රූපවාහිනිය නොමැති යුගයේ පවුලේ සියලු දෙනාත් සමඟ චිත්‍රපට ශාලාවකට ගොස් චිත්‍රපටයක් දෙකක් නැරඹූ අයුරු සිහිනෙන් මෙන් මතකය.

අප නිවසට පලමු වරට රූපවාහිනියක් ගෙනෙන ලද්දේ අසූ තුන වසරේදීය. ඒ රූපවාහිනිය අදත් අප සාලයේ අපට රූප පෙන්වමින් එහි ලැගුම්ගෙන සිටී. රූපවාහිනිය ගෙනා දා සිට එහි පෙන්වූ චිත්‍රපටි නැරඹීමට ලොල් වූයෙමි. චිත්‍රපටයක් පෙන්වනදාට මමත් මාගේ සොයුරියනුත් කල්වේලා ඇතිව ඒ සඳහා සූදානම් වී රූපවාහිනිය ඉදිරියට පැමිණ සිටින්නෙමු. බොහෝ විට හැටේ සහ හැත්තෑව දශකයේ චිත්‍රපටි එකල විකාශණය විය.

අතරින් පතර සිනමා ශාලාවකට පැමිණෙන සම්භාව්‍ය ඝනයේ චිත්‍රපටයක් නැරඹීමට පියා සහ මව අපවද කැ‍ටුව ගියේ එය පවුලේ සියල්ලන්ටම එකට හිඳ නැරඹීමට තරම් සුදුසු නම් පමණි.

මිතුරන් සමඟ චිත්‍රපට ශාලාවකට ගොස් චිත්‍රපට නැරඹීම ඇරඹුනේ සාමාන්‍ය පෙල පන්තියේ සිටින සමයේය. එහෙත් මෙහි වූ ගැටලුව වූයේ ඇතැම් විට මා ප්‍රිය කරන චිත්‍රපට වලට අනෙක් මිතුරන් අකමැති වීමය.
එනිසාම මා තනිව චිත්‍රපට නැරඹීමට පෙලඹුනි. මෙහි ආරම්භය තවමත් මා හට මතකය. ඒ සාමාන්‍ය පෙල විභාගය අවසන් වූ දවසයි. එදින වූ මානසික නිදහසත් සමඟ චිත්‍රපට ශාලා වලට වැදුනු මා චිත්‍රපට නැරඹුවේ ඉතා සැහැල්ලුවෙන්ය. මිතුරන් නොමැතිව තනිව චිත්‍රපට නැරඹීමේදී මා හට එය හොඳින් රස විඳීමට හැකියාවක් ලැබුනි. මෙයට ප්‍රධාන හේතුව නම් එකල සිටි මාගේ මිතුරන් කිසිවෙකුත් මේ විෂය සම්බන්ධයෙන් ඇලුම් නොකීරීමය.

වාණිජ, සම්භාව්‍ය, කාම, හාස්‍ය යන ඕනෑම ඝනයක චිත්‍රපටයක් නැරඹුවද සටන් චිත්‍රපට වලට මා එතරම් ප්‍රිය නොකලෙමි. මුලින් සෑම චිත්‍ර පටයක්ම නැරඹුවද කල් ගතවෙත්ම මා කලාත්මක සම්භව්‍ය ඝනයේ චිත්‍රපට වලට වැඩි නැඹුරුතාවක් දක්වන්නට වීමි.

මෙලෙස තනිව චිත්‍රපට රස විඳි මා හට මාගේ යාබද අසුනේ අසුන් ගෙන චිත්‍රපටි නැරඹීමට සහකාරියක හමුවන්නේ මා විශ්ව විද්‍යාලයේ තෙවන වසරේ ඉගෙනුම ලබන විටය. අදත් ඈ මාගේ යාබද අසුනේ වාඩිගන්නීය. එදා ඇය අද මා බිරින්දෑය. එහෙත් අද අප දෙදෙනාට එක්ව චිත්‍රපට නැරඹීමට කාලය හරස් කපන්නේ ‍රැකියාව පවුල් ජීවිතයේ වගකීම් විසින් අපව සීමා කරන බැවිනි.

ලඟදී දිනයක චිත්‍රපට උළෙලකට ගිය මා හට READER චිත්‍රපටය නැරඹීමෙහිලා අවකාශය ලැබුණි.

චිත්‍රපට කලාව තුල නිරුවත භාවිතය සම්භන්ධව මා හට ඇත්තේ ඉතා නිදහස් මතවාදයකි.
නිල් චිත්‍රපටයේ සිට සම්භාව්‍ය කෘතියක් දක්වා නිරුවත භාවිතා වන අන්දම මා හොඳාකාරවම අත්දැක ඇත්තෙමි. නිසි භාවිතයක් නොමැති තැන නිල් චිත්‍රපටයත් නිරුවත් දර්ශණ සහිත අනෙක් චිත්‍රපටියත් අතර ඇත්තේ සමානතාවයකි.

නිර්මාණකරුවාගේ දක්ෂතාවය මනින්නට කෘතිය තුල නිරුවතෙහි භාවිතය උපයෝගී වන්නේය යන්න මා හට සිතුනු වාර එමටය. මන්ද, නිසි ආකාරව චිත්‍රපටයේ ප්‍රකාශණයට අදාල නොවන අයුරින් හුදෙක් ලාභය හෝ කුතුහලය අරභයා භාවිතා වන නිරුවත් දර්ශණ වෙන්ව පෙනෙන්නේ හරියට තෙල් හා වතුර මිශ්‍ර නොවී වෙන්ව පෙනෙන්නා සේය.

රූප මාධ්‍යයක් තුල වචනයෙන් කිව නොහැකි බොහෝ දේ රූපයෙන් කිව හැක.

චිත්‍රපට තුල නිරුවත් දර්ශණ වෙනුවට සංකේත රූප භාවිතය සුලභව යෙදෙන්නකි.

එනිසාම වන්නට ඇති දියණිය අතවරයට ලක්වන විට ලෙඩ ඇඳේ සිටින මවගේ අත වැදී වතුර වීදුරුව බි‍ඳෙන්නේත්, අහසෙහි අතොරක් නැතිව අකුණු කොටන්නේත්.
එමෙන්ම පෙමින් බැඳුනු යුවලක් රමණයෙහි යෙදෙන විට ඒ වෙනුවට අසල ගහක කුරුල්ලන් දෙදෙනෙකු හෝ සර්පයන් දෙදෙනෙකු ආදරයෙන් වෙලෙන්නේත් අසල මල් පඳුරක මල් දෙකක් එකට පැටලී දෙපසට වැනෙන්නේත්.

මෙවන් වූ කෘත්‍රිම සංකේත භාවිතය අනුමත කරමින් ප්‍රසිද්ධ ‍රැඟුම් පාලක මණ්ඩලයේ කලකට පෙර සිටි ප්‍රධානියෙකු පුවත්පතකට ලියූ ලිපියක් කියෙව්වා තවමත් මා හට මතකය.

නිර්මාණකරුවෙකුගේ අපේක්ෂාව වන්නේ තමන් අත්විඳි දේ හෝ සිතිවිල්ල හැකිතාක් ඒ අයුරින් අන් අය හා බෙදා ගැන්මය.

ඉතින් ඉහත සඳහන් කලයුරු සංකේත භාවිතය අප තුල එවන් වූ සංවේදනයන් ජනනය කරන්නේද?

අතවරයකට ලක්වන කාන්තාවක් තුල ඇතිවන අසරණ බව, පිළිකුල හා වෛරයද, දූෂකයාගේ රුදුරු බව හා කාම පිපාසයද එවන් වූ සරල සංකේත භාවිතයකින් ප්‍රේක්ෂකයා තුල ජනනය කල හැකිද? එසේම ආදරයෙන් වෙලුනු පෙම්වත් යුවලකගේ කායික බැඳීමක් තුල වන අධ්‍යාත්මක බැඳීම, ස්නේහය , වින්දනය සංකේත භාවිතයෙන් ප්‍රේක්ෂකයා තුල ජනනය කල හැකිද?

READER චිත්‍රපටයේ පලමු භාගය බොහෝ වූ නිරුවත් දර්ශණ වලින් සමන්විතය.
මෙම මුල් භාගය නරඹන මා හට මෙයත් සාම්ප්‍රදායික නිරුවත් දර්ශණ සහිත චිත්‍රපටයක්ද යන සැකය මතුවින. එහෙත් චිත්‍රපටිය තව දුරටත් දිග හැරෙත්ම මෙම දර්ශණ වල භාවිතයෙහි වැදගත්කම මොනවට පැහැදිලිවුනි.

අහඹු හමුවකින් පසු නව යෞවනයෙකු හා මැදිවියේ කාන්තාවක් අතර ඇතිවන කායික බැඳීම අධ්‍යාත්මික බැඳීමක් කරා විකාශනය වන ආකාරය හා ඒ බැඳීම එකිනෙකාගේ ජීවිත වලට කරන ලද බලපෑම විදහා දක්වමින් ඒ දෙදෙනාගේම ඇතුලාන්ත පෞරුෂයට එබිකම් කරන්නට මෙම චිත්‍රපටය ප්‍රේක්ෂකයාට අවකාශ ලබා දෙයි. පුද්ගල පෞරුෂයට හා පුද්ගල සබඳතා වලට ඇතිකරන සමාජීය බලපෑම ගැන විමසන්නට මේ අවබෝධය ප්‍රේක්ෂකයාව පොළඹවනු ලබයි.

මෙම කතා තේමාව තුල නිරුවත වෙනුවට සංකේත භාවිතා කලා නම් මෙවන්වූ ප්‍රබල අත්දැකීමක් ප්‍රේක්ෂකයා තුල ජනනය කල හැකිද?
මෙවන් චිත්‍රපටියක නිරුවත කුණුහරුපයක් ලෙස සලකන අයවලුන් දකිනු ඇත්තේ ගැහැණියක හා පිරිමියෙකුගේ ලිංගේන්ද්‍රියත් නිරුවත් සිරුරත්ය. ඔවුන් අත්විඳිනු ඇත්තේ කාම රසය පමණකි.
මේ සියල්ල, ඔවුන්ව ඉන් එහා පවතින ගැඹුරු අත්දැකීමෙන් වෙන් කොට තබනු ඇත. එනිසාම ඔවුන්ට එය කුණුහරුපයක්ම වනු ඇත.

ඒ මට හිතෙන හැටිය

Tuesday, September 21, 2010

කාලය....

දිනය; සැප්තැම්බර් 21, වසර 2010, අඟහරුවාදා දිනයක්

සිත් දින පොතෙන් බ්ලොග් දින පොතට සටහන් අංක 16

කාලය

වරෙක නැවතී ඇතුවා සේ දැනෙන, වරෙක වේගයෙන් ඇදෙන, තවත් වරෙක සෙමින් ගෙවෙන.... කාලය....
අපි කාටත් අයිති නැති...... එහෙත් කාගේත් අයිතියක් වන.....
කාලය............
සියල්ලට මායිම් තබන............ සියල්ලේ මායිම් බිඳින.....
කාලය...........
නවතන්නට තනන..... එහෙත් නවතන්නට බැරි........
කාලය............
ගිලිහී යන.......එහෙත් නැවතත් උදා වන.......කාලය..............
වරෙක වහලෙක් වන ......... වරෙක ස්වාමියා වන..............කාලය.......
ගෙවෙන්න ගෙවෙන්න තවත් ගෙවෙන................ එහෙත් ගෙවී අහවර නොවන..... කාලය............
මිදෙන්නට සිතෙන ....එහෙත් මිදෙන්නට නොදෙන.........
කාලය..............
වරෙක වෙන් කරන......වරෙක එක් කරන ........
කාලය.............
බලා සිටින එහෙත් කවරදාකවත් උදා නොවන .......
කාලය........
බොහෝ දේ ලබා දෙන ..........බොහෝ දේ අහිමි කරන...........
කාලය......
වරෙක කළ්‍යාණ මිතුරෙකු වන........ වරෙක පරම සතුරාදවන.........
කාලය.......
පෙමින් බැ‍ඳෙන........වෛරයෙන් නෙරපන.......
කාලය....
සත්‍යය සඟවන ........සත්‍යය එළිකරන......
කාලය.........
වරෙක ඇති තරම් ඇති........ වරෙක හිඟව යන........
කාලය
මිලක් නැති.....මිලක් ඇති......මිල කල නොහැකි........
කාලය....

අහෝ !........කාලය.......නුඹ කෙතරම් පුදුමද? ...............

සිත් දින පොතෙන් බ්ලොග් දින පොතට තැබූ පෙර සටහනේ සිට අද දක්වා බොහෝ කල් ඉක්ම ගොස් ඇත.
ගෙවුනු
කාලය දෙස බැලූ මට කාලය ගැන සිතුනේ ඒ අයුරින්ය..............

ඒ මට හිතෙන හැටිය...........

Sunday, November 15, 2009

හිස් වූ අසුන්

දිනය;නොවැම්බර් 15, වසර 2009,ඉරිදා දිනයක්

සිත් දින පොතෙන් බ්ලොග් දින පොතට සටහන් අංක 15

හිස් වූ අසුන්

නොවැම්බර් 03 වෙනිදා සිට 06 වැනිදා දක්වා දින හතරක සිනමා උළෙලක් පේරාදෙණිය විශ්ව විශ්ව විද්‍යාලයීය ලලිත කලා අධ්‍යයන අංශය විසින් සංවිධානය කර තිබුණි.

පස්වරු 5.30 ට ඇරඹෙන මෙම උළෙලට සහභාගී වීම සඳහා මා කාල වේලාව වෙන් කර ගත්තේ බොහෝ අපහසුවෙන්‍ ය.

අපහසුවෙන් හෝ මා එසේ කරන්නට ඇත්තේ චිත්‍රපටි කලාව කෙරෙහි ඇති මාගේ නොනිම් ආශාව නිසා වන්නට පුලුවන.

පලමු දින මා එහි යන විට වේලාව ප.ව 5.45 ට පමණ විය.

විනාඩි පහලොවක් පමණ පමාවී ඇති බැවින් අසුන් ගැනීමට තැනක් නැතිවේද යන චකිතයෙන් මා කඩිමුඩියේ එහි ගියෙමි.

මීට කලකට ඉහතදී නම් මෙවන් චිත්‍රපට උළෙලක් නැරඹීමට පැමිණෙන සිසුන්ගේ පෝලිම ඇරඹෙන්නේ ප.ව් 4.30 පමණ සිටය.

චිත්‍රපටය ඇරඹෙන වේලාව වන විට සියලු අසුන් පිරී යනවා පමණක් නොව සිටගෙන සිටීමටද තැනක් නැතිවන ආකාරයට මුලු ශාලාවම අතුරු සිදුරු නැතිව පිරී යන්නේය.

මෙවන් සිතිවිල්ලක් සිතෙහි දරාගෙන එහි ඇතුලු වූ මා මවිතයට පත්වීමි.

ශාලාව තුල කිසිදු කලබලයක් හෝ තදබදයක් නැත.

ලලිත කලා අධ්‍යයන අංශයේ හා කලා පීඨයේ වෙනත් අංශවල ආචාර්‍ය වරුන් කිහිප දෙනෙක්ද සිසුන් කිහිප දෙනෙක්ද ශාලාව තුල සිටිනු දක්නට විය.

එනම් ශාලාවේ අවසන් පේළි දෙක පුරවන්නට තරම්වත් පිරිසක් එහි නොවීය.

මේ දසුන අදහා ගත නොහැකි වූ මා පිටතට ගොස් එහි දමා තිබූ බැනරය නැවත පිරික්සුවේ, මාහට දිනය හෝ වේලාව හෝ වැරදුනේවත්දැයි යන සැකය දුරුකරගනු පිණිසය.

පළමු දින එහි ආරාධිත අමුත්තන් වූයේ ප්‍රවීණ සිනමා ශිල්පී ප්‍රසන්න විතානගේ හා ඔහුගේ බිරිඳ වන දමයන්ති ෆොන්සේකාය.

එදින ඔහුගේ නිර්මාණයක් වන, අනන්ත රාත්‍රිය චිත්‍රපටිය හා දමයන්තිගේ ‘පොඩිනම’ යන කෙටි චිත්‍රපටිය තිරගත වීමට නියමිතව තිබිණ.

චිත්‍රපට දර්ශණය අවසානයේ ඔහු හා සමඟ සංවාදයක්ද සංවිධානය කර තිබිණ.

සිනමාව පිළිබඳ පෘථුල දැනුමක් ඇතිවා පමණක් නොව සිංහල සිනමාවට විශිෂ්ට වූ කෘතීන් දායාද කරමින් ජාත්‍යන්තරය තුල සිංහල සිනමාව බබලවන්නට සමත්වූ මේ කලාකරුවාට, කර්මාන්තයක් ලෙස සිංහල සිනමාව අද මුහුණ පා සිටින අර්බුදය ගැනද හොඳ වැටහීමක් ඇතුවාට කිසිදු සැකයක් නැත.

එහෙත් විශ්ව විද්‍යාලයක් තුල පවත්වන මේ සිනමා උළෙලේ ශිෂ්‍ය සහභාගීත්වය ඔහුටද ගැටලුවක් වන්නට ඇතැයි මට සිතුනි.

කලකට පෙර සිනමා ශාලා මිනිසුන්ගෙන් පිරී ඉතිරී යන තැන්ව පැවතින.

ඇතැම්විට පමා වී පැමිණියොත් ඉතිරි වන්නේ ඉදිරිපෙළ අසුන් පමණකි.

එකල චිත්‍රපටියක් නැරඹීමට යනවා යනු විශේෂ ගමනකි.හොඳින් ඇඳ පැළඳ සූදානම් වී පවුල් පිටින් හෝ යහලුවන් කණ්ඩායම් වශයෙන්ද පෙම්වතුන් ජෝඩු ලෙසද, පුද්ගලයන් තනි තනිවද සිනමා ශාලා වලට ඇදුනි.

එකල දර්ශණ වාර සියල්ල ජනයාගෙන් පිරී ඉතිරී පැවතින.

කාලයත් සමඟ සියල්ල වෙනස්ව ඇත.

ඒ, වෙනස් වීම යථාර්තයක් වන නිසා වන්නට පුලුවන.

අද බොහෝ සිනමා ශාලා වැසීගොස් ය.

සෑම සිනමා ශාලාවක්ම පාහේ මැස්සන් ඇහිරෙන තැන්ව ඇත.

අඩුම තරමේ දෛනික නඩත්තු කටයුතු හා පඩිනඩි ගෙවා ගැනීමට තරම්වත් ආදායමක් ලබා ගැනීමට නොහැකි තරමට ප්‍රේක්ෂකයින් සිනමා ශාලාවලින් ඈත්ව සිටයි.

පසුපෙල ආසන කිහිපයක, යන්තම් ප්‍රේක්ෂකයින් කිහිපදෙනෙක් සිටින දර්ශණ වාර බොහෝය.

චිත්‍රපටයක් නැරඹීම තවදුරටත් විශේෂ දෙයක් නොවී ඇත.

එය රසයක්, අත්විඳීමක් ලබන හෝ විනෝදයක් හෝ විවේකයක් ලබන ක්‍රියාමාර්ගයක් නොවී ඇත්තාසේය.

ඒවෙනුවට සිනමා ශාලාව පෙම්වතුන්ට නිදහසේ පෙම්බස් තෙපලන්නට ලැගුම් හලක් බවට පත්වන්නට විය.

නමුත් එයද දැන් දැන් වෙනස්වී යමින් පවතින්නේ, ඔවුනට ඒ සඳහා ඊටත් වඩා හොඳ ඕනෑ තරම් තැන් අද බිහිව ඇති නිසාය.

සියල්ලෝම සිනමා ශාලාවෙන් සමුගනිමින් සිටින්නා සේය.

මහා සමාජයේ සිදුවන වෙනස්වීම්, බිඳ වැටීම් එහිම කොටස් වන උප සමාජයන්ගේද දක්නට හැකිවෙයි.

විශ්ව විද්‍යාලය තුල පැවති මේ සිනමා උළෙල තුල වූ හිස්වූ අසුන් කියා පෑවේ, ඒ යථාර්තයමද?

බුද්ධිමය සමාජයක් පැවතිය යුත්තේයැයි අපේක්ෂිත, මතවාද ගැටෙන හා නව මතවාද උපදින්නට තිඹිරි ගෙයක් විය යුතු විශ්වවිද්‍යාල සමාජය තුල මේ කඩා වැටීම මහා සමාජයේ අඳුර නසන්නට පහන් තනන්නාවූ උප සමාජයක බිඳ වැටීමේ පෙර නිමිත්තක් පමණක් නොව අඳුරු අනාගතයකද පෙරනිමිත්තක් යැයි මට සිතේ.

ඒ මට හිතෙන හැටිය.

Wednesday, October 21, 2009

විරාමය

දිනය: ඔක්තෝබර් 21,වසර 2009,බදාදා දිනයක්

සිත් දින පොතෙන් බ්ලොග් දින පොතට සටහන් අංක 14

විරාමය

විරාමය යනු අවසානයක් නොවේ.
අවසානයක් හා නැවත පටන් ගැන්මක් අතර පවතින කාල පරාසයකි.

පසුගිය දින වල, සිත් දින පොතෙහි මැවෙන සටහන් බ්ලොග් දින පොතට පිටපත් කිරීමේ විරාමය සටහන් වූයේ ඉබේටමය.

ඒ, ඒ සඳහා වූ කාලය වෙනත් කටයුතු විසින් සොරා ගත් බැවිනි.
මේ කාලය තුල බොහෝ දේ ලියන්නට තරම් කරුණු කාරණා විය.

ඒ අතරින් එක් සටහනක් තැබීමට තරම් වූ කාලයක් අද ලැබින.

පසුගිය දින වල, රැල්ලකට හසුවූවා ලෙසට පාසල් වියේ යෞවනියන් සියදිවි නසා ගන්නට විය.
මෙය සමාජය විසින් විමර්ශණය කල යුතු වැදගත් කාරණාවක් යැයි සිතේ.
මේ සියදිවි නසා ගැනීම් වල පොදු ලක්ෂණ බොහොමයකි.

එකම වයස් කාණ්ඩයක වීම, යෞවනියන්වීම, ජංගම දුරකථන හා බැඳුනු සිදුවීම් වීම් හෝ සමාජ අපවාදයකට ලක්වීම ඉවසා දරා ගැනීමට නොහැකිවීම හා හදිසි කෝපය පසුබිම්වූ මානසික තත්වයක පසුවීම,දිවි නසා ගැන්මේ ක්‍රමවේදය ගෙල වැලලා ගැනීම වීම යන කාරණා මේ පොදු ලක්ෂණයන් ය.

අනෙක් වැදගත්ම ලක්ෂණය වන්නේ එක් සිදුවීමකින් ඇරඹී රැල්ලක් ලෙස අනෙක් සිදුවීම්ද එකක් පසු පස අනෙක ලෙස සිදුවීමය.

මෙහිදී බොහෝදෙනා එකිනෙකාට ඇඟිලි දිගු කරමින් වරද සොයන්නට යන බව පෙනින.

පලමුව කිව යුත්තේ මෙය ශ්‍රී ලංකාවට පමණක් හුදකලා වූ සිදුවීමක් නොවන බවයි.

ලොව පුරා මෙවන් වූ සිදුවීම් වාර්ථා වී ඇතිවා පමණක් නොව ඒ සම්බන්ධව මනෝ විද්‍යාත්මකව මෙන්ම මනෝ වෛද්‍ය විද්‍යාත්මකවද ඇති තරම් පරයේෂණ සිදුව ඇත.

සියදිවි නසා ගැන්මට යමෙක් නිකරුණේ පෙලඹෙන්නේ නැත.

මෙයට ප්‍රධානතම හේතුවක් වන්නේ විශාදය නම්වූ මානසික රෝගයයි.

බොහෝ විට අප සමාජයේ බහුතරයක් තමනට හෝ තමන් ඇසුරේ සිටින වෙනත් අයකුට විශාදය ඇත්දැයි හඳුනා ගැනීමට තරම්, එම රෝගයෙහි රෝග ලක්ෂණ හඳුනන්නේ නැත.

බොහෝ දෙනෙක් විශාදයෙහි ඇති රෝග ලක්ෂණ,රෝගයක ලක්ෂණ ලෙස පවා පිළිගන්නට මැලිවෙති.

එනිසාම බොහෝ දෙනෙක් මනෝ වෛද්‍ය ප්‍රථිකාර සඳහා යොමු නොවෙයි.

සියදිවි නසා ගැන්ම විශාදයෙහි එක් අතුරු පලයකි.
එය පුදුමයට කාරණාවක් නොවෙයි.
කණගාටුව වන්නේ ප්‍රථිකාර ඇති රෝගයකට නිසි ප්‍රථිකාර ලබා නොගැනීම නිසා, එනම් බොහෝ විට නොදැනුවත්කම නිසා ඇතැමුන් තම ජීවිතයෙන් සමුගැනීමය.
එවැන්නෙක් ප්‍රථිකාර සඳහා යොමුකිරීමට තරම් සමාජය දැනුවත් නොවීමද කණගාටුවට කරුණකි.

මානසික සෞඛ්‍ය සම්බන්ධව පහසුකම් සලසන්නට තරම් පුහුණුව ලත්තවුන්ගේ අඩුපාඩුවද මේ සම්බන්ධව ඇති ප්‍රධානතම සාධකයකි.

සියදිවි නසා ගැන්මේ රැල්ලක් ඇතිවීමට හා භාවිතා කරන උපක්‍රමයේ සමානතාවයක් ඇතිවීමට ජනමාධ්‍යය මෙවන් සිද්ධීන් වාර්ථා කරන අන්දමද බලපායි.

දිවි නසා ගැන්මේ අවදානමක් ඇත්තවුන්, මෙවන් සිද්ධීන් සම්බන්ධ ප්‍රවෘත්ති වලට අනිසි ලෙස අනාවරනය කිරීම ඔවුන්ගේ සියදිවි නසා ගැන්මේ අවධානම ඉහල දමන්නට හේතුවකි.
මේ තුලින් ගැටලුවකට එක් විසඳුමක් ලෙස සියදිවි නසා ගැන්ම ඔවුන් හඳුනා ගනී.

එබැවින් මේ සම්බන්ධ ප්‍රවෘත්ති වාර්ථාකරණයේදී ජනමාධ්‍යයේ වගකීම විය යුත්තේ ප්‍රවෘත්තිය ප්‍රවෘත්තියක් ලෙස වාර්ථා කිරීම හා ඒ සම්බන්ධ විද්වත් අදහස් ඉදිරිපත් කිරීම විනා, ඒ හා සම්බන්ධ කොට පුරාවෘත්ත හෙවත් දුක හිතෙන කථා මවා ප්‍රේක්ෂක අවධානය දිනා ගැන්ම නොවේ.

එය සමාජයට කරන විනයකි.
ඒ විනයෙහි ප්‍රථිඵලයක් ලෙස, පසුගිය දිනවල ,ගෙල වැලලා ගෙන සියදිවි නසා ගැනීම රැල්ලක් ලෙස දුටිමු.

ජීවිතය සුන්දරය.

එහෙත් ......සියදිවි නසා ගන්නා එහි සුන්දරත්වයක් නොදකී.

ඔවුන්ට එහි සුන්දරත්වය දකින්නට පසුබිම සකස් කිරීම සමාජයේ අප කාගේත් වග කිමකි.

එවිට ඔවුන් තම ගැටලු වලට අවසානයක් නොව විරාමයක් සොයන්නට පෙළඹෙනු ඇත.

ඒ මට හිතෙන හැටිය.




Thursday, September 24, 2009

සිහින සමාජයක බලදේව බලු වෙයිද ?

දිනය; සැප්තැම්බර් 24, වසර 2009, බ්‍රහස්පතින්දා දිනයක්,

සිත් දින පොතෙන් බ්ලොග් දින පොතට සටහන් අංක 13

සිහින සමාජයක බලදේව බලුවෙයිද ? .................................

අපි කවුරුත් සිහින දකිමු.
සිහින අතුරින් සුන්දර සිහින දකින්නට කවුරුත් රිසි වෙති.

සිහිනයත්, යතාර්ථයත් අතර ඇති සබැඳියාව, සිහිනයේ සුන්දරත්වය හෝ භයංකාරත්වය තීරණය කරයි.

සිහිනයත් යතාර්ථයත් දුරස් වත්ම, සිහිනයෙන් මිදුනු කල ඇති වන භයංකාරත්වය හෝ අප්‍රසන්නතාවයද වැඩිවේ.

සිහින තමන්ටම මවා ගත හැක.

එසේම තවත් අයවලුන් විසින් සිහින මවා ඒවා වෙනත් අයට බැලීමට සැලැස්විය හැක.

ඒවා බලන ඇතැමුන් ඒවා තුල ජීවත් වන්නට පෙළඹේ.

ජනමාධ්‍යය, ජන සමාජයක් තුල සිහින මවන්නාවූ ප්‍රබලතම මාධ්‍යයකි.
මාධ්‍යයෙන් මැවිය යුතු සිහින තීරණය කරන්නේ මාධ්‍යයේ පැවැත්මෙහි ප්‍රබල සාධකයක් වන වෙළඳ ව්‍යාපාරයි.

අත දිග හැර වියදම් කරන පාරිභෝගික ජීවන රටාවක් සහිත ජන සමාජයක් මේ සිහින තුලින් බිහි කිරීම ඔවුන්ගේ අරමුණයි.
ඒ, එය ඔවුන්ගේ පැවැත්මෙහි ප්‍රධානතම සාධකය වන නිසාවෙනි.

ඔවුන් විසින්යතාර්ථයෙන් දුරස් වූ සිහින ලොවක් තුල ජීවත් වන සමාජයක් කරා වත්මන් පරපුර දැනටමත් රැගෙන ගොස් හමාරය.

මේ සිහින සමාජයේ මායිම්, නිම්නයන් ලකුණු කරන්නේද, අවශ්‍යතාවයන් තීරණය කරන්නේද ඔවුන් විසිනි.

මේ සිහින සමාජය තුල මිනිසෙකුගේ වටිනාකම එසේත් නැති නම් ඔහුට ලැබිය යුතු ගෞරවය බොහෝ විට තීරණය වන්නේ ඇඳුම මතය, නොඑසේනම් බාහිර පෙනුම මතය.

පිටින් බැලූ විට ඉතා හොඳින් ඇඳ පැළඳ සිටී නම් ඔහු වැදගත් මහතෙකි, නැතිනම් නෝනාමහතෙකිය.

ඒ,මේ සිහින ලොව තුල වැදගත් කමේ නිර්ණායකය, භාහිර පෙනුමට සීමාකර තිබීම නිසාය.

මිනිසෙකුගේ ආත්ම අභිමානය සඳහා බලපාන්නාවූ සාධක අතුරින් පහලින්ම ඇති සාධකයක් වන බාහිර පෙනුම ඔවුන් විසින් මෙතරම් ඉහලින් තබා ඇත්තේ, එය පවත්වා ගැනීම සඳහා ඒ හා සබැඳි භාණ්ඩ හා සේවාවන් රාශියක් පරිභෝජනය කල යුතුව ඇති නිසාය.

එය ඉතා ලාබදායී ව්‍යාපාරයකි.

අද වෙළඳ පොලේ ඇඳුම් ආයිත්තම් වල මිල ගණන්, ඒවායේ සැබෑ නිෂ්පාදන වටිනාකමට වඩා ඉතා ඉහලය.

කීය කිව්වත් මේ සඳහා වියදම් කරන්නට මිනිසුන් සෑදී පැහැදී සිටින්නේ තම ආත්ම අභිමානය එතරම්ම තමනට වැදගත් වන නිසාය.
එමෙන්ම මේ සිහින සමාජය තුල ඕනෑම අයෙකුට අත පය දිග හැර වියදම් කර මනා බාහිර පෙනුමක් ලබාගැනීමෙන්, වැදගතෙකුගේ චරිතයට අවතීර්ණ විය හැකි නිසාය.
මේ නිසාම බහුතරයක් තම වැටුපෙන් විශාල කොටසක් ඇඳුම් පැලඳුම් මෙන්ම රූපලාවන්‍ය කටයුතු සඳහාද වැය කරන්නේ රූපය හෝ සුන්දරත්වය ඉස්මතු කිරීම උදෙසා පමණක්ම නොව, වාණිජත්වය විසින් තනා දී ඇති නිර්ණායකයන්ට අනුව ආත්ම අභිමානය හා බැඳි තම වැදගත්කම රැකගැනීම උදෙසාය.

මෙහි බොහෝදෙනෙකුට වසන්ව ඇති සත්‍යය වන්නේ, තම වැදගත්කම හෝ ආත්ම අභිමානය, එතරම්ම වැදගත්කමක් නැති භාහිර පෙනුම හා සම්බන්ධ කර තනා ඇති සිහින නිර්ණායකයයි.

මෙය මෙතැනින් නොනවතී.

තවත් මූලික අවශ්‍යතාවයක් වන ආහාරද මෙවන්වූ සිහින නිර්ණායකයන්ට හසුව ඇත.

වැදගතුන්ගේ බොජුන්හල් දසත පැතිර ඇත.

ඉතින් ඇතැමුන් මේවායෙහි රිංගන්නේ බඩපිරෙන්නට යමක් කෑමට වඩා තම තත්වය පවත්වාගැනීමටය.
බඩපිරෙන්නට මේවායින් කෑමට තරම් වත්කමක් බහුතරයක් වන පහල මධ්‍යම පංතිකයින්ට නැත.

ඉතින් ඔවුන් මේවායෙහි ගොස් යන්තම් ලෙව කා එති.

තම පාරිභෝගිකයන්ගෙන් බහුතරයක් වන, පහල මධ්‍යම පන්තික මේ ලෙව කන්නන්ගෙන් හොඳ ලාබයක් උපයා ගන්නට මේ වෙළඳුන් සමත් වෙති.

මන්ද, යන්තම් මස් කටු කෑල්ලක් හා අල පෙති කිහිපයකින් සමන්විත වන අඩුම මිල ආහාරය රුපියල් දෙසීයද ඉක්මවන බැවිනි.

උපන් දිනය ,විවාහය, වැනි ජීවිතයේ වැදගත් සැමරුම් සියල්ලන්ටම මේ සිහින නිර්ණායක පැනවී ඇත.

මෑතක සිට විවාහ උත්සවය හින්දි සිහින චිත්‍රපටියක් හා සමව පවත්වනයුරු, ඒ සඳහාම වෙන්වූ රූපවාහිනී වැඩසටහන් වලින් ඉදිරිපත් කරයි.
මේවා සියල්ල අංග සම්පූර්ණ විවාහ උත්සවයන්ය.
මෙවන් උත්සව පැවැත්විය හැක්කේ මුලු ජන සමාජයෙන් සියයට දහයකටත් අඩු පිරිසකටය.
එසේ වුවත් මේ සිහින ලොව තුල අතරමං වන තරුණ තරුණියන් තම අතේ හැටියට නොව හිතේ හැටියට වියදම් කර තම විවාහ උත්සවය පවත්වන්නට ගොස් හතර අතේ ණය වෙති.

ගමේ ගොඩේ ගිනි පොලී කාරයාගේ කාර්‍යබාරය ඉටුකරන වැදගතෙක් මේ සිහින සමාජය තුල සිටී.

ඒ ක්‍රෙඩිට් කාඩ් එකය.

“හිතේ හැටියට වියදම් කර පසුව ගෙවන්න”.ඒ එහි තේමාවයි.

ගෙවන්න බැරි වන විට ක්‍රෙඩිට් කාඩ් එකේත් ගිනි පොලී කාරයාගේත් වෙනසක් නැත. දෙකටම ඇත්තේ එකම ගිනි පොලියකි.

ක්‍රෙඩිට් කාඩ් එකක් භාවිතය ලොකු කමක් ලෙස සලකන චින්තන රටාවක්,එය හඳුන්වා දීමේදීම ඇති කෙරුනි.
ඇත්තටම එහි ප්‍රයෝජනය අභිබවා, මේ ලොකුකම ඉහට ගත් බහුතරය අද ස්ථාවර ණයකාරයන් බවට පත්ව ඇත.


බොහෝ විට සරල බව හා චාම් බවින් යුක්ත වුවන් මේ සිහින සමාජය තුල සලකන්නේ ගොඩයන් ලෙසය.

අතේ ඇති හැටියට, අරපරිස්සමින් වියදම් කිරීම සලකන්නේ ලෝබ කමක් ලෙස හෝ දුප්පත් කමක් ලෙසය.

නොවටිනාකම්, වටිනාකම් ලෙස අගයන , අනාගතයට හෝ හදිසියකට ඉතිරියක් නැති, සෝබනකාර, ස්ථාවර ණය කාරයිගෙන් මේ සිහින සමාජය පිරී ඇත.

ඔවුන් අනුන් තැනූ මේ සිහින ලොව තුල ජීවත් වෙමින් තමන්ගේ අත ඇති තුට්ටු දෙක මේ සිහින ලොවේ නිර්මාපක ධන කුවේරයන්ගේ සාක්කුවට දමති.
සුන්දර හීනයක් තුල ජීවත් වන බැවින් ඒ ගැන හිතට දුකක්ද නැත.

හීනෙන් අවදිවන්නේ අතේ සතේ නැතිවූදාටය.
එසේ වුවද අබිං කෑ එකා මෙන් හීන ලෝකයෙන් ඔවුනට මිදීමක් නැත.
තව තවත් ණය වී හෝ සන්තක දෙයක් විකුණා හෝ සොරකම් කර හෝ පිටරටකට ගොසින් හෝ නැවතත් මේ සිහින ලොව තුලට උන් රිංගති.

තමන්ගේ හීන ලෝකයක් තුල ජීවත් වූවානම් තව කම් නැත.
මේ ඔවුන් ජීවත් වන්නේ අනුන් සෑදූ සිහින ලොවක් තුලය.

මෙවන්ම වූ සමාජයක, එදා, යශෝරාවයේ බලදේව බලු නොවින.

එහෙත් අද, මේ සමාජයේ බලදේවලා බලු වෙයිද?

බලදේව චින්තනයෙන් පෝශිත, එදා අතුරුදහං වූ පොඩ්ඩා, හෙටවත් මේ සමාජයේදී හමුවේවිද?

එසේ නොවුනෝතින් බලදේවලාගෙන් පසු ඒ චින්තනය මේ සමාජයෙන් අතුරුදහන් වනු ඇත.

ඒ මට හිතෙන හැටිය.

Wednesday, September 23, 2009

සංසාරේ හැටි තමා......වියෝග ඇතිවන්නේ.........

දිනය; සැප්තැම්බර් 23, වසර 2009, බදාදා දිනයක්,

සිත් දින පොතෙන් බ්ලොග් දින පොතට සටහන් අංක 12

සංසාරේ හැටි තමා.......... වියෝග ඇති වන්නේ.................

අවශ්‍යතාවයක් සඳහා අද කලා පීඨයට ගිය විට, එහි දැන්වීම් පුවරුවක අලවා තිබූ කපුගේ සමරු ගී ප්‍රසංගයක් පිළිබඳ දැන්වීමක් දුටිමි.

කපුගේ මහතා මිය ගොස් වසර ගණනාවක් ඉක්ම ගොස් ඇතත්, ඔහුගේ කටහඬ, තවමත් අප සිත් තුල, ඔහුව ජීවත් කරන්නට සමත්ව ඇත.

ඔහුගේ ගීත වලට ප්‍රියකරන විශාල රසික පිරිසක් සිටිති.

මිය යන්නට ටික කලකට ප්‍රථම, ඔහු පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ටික දිනක් නතරව සිටියේය.

එකල අප අවසන් වසරේ අධ්‍යයනය ලබමින් සිටියෙමු.
ඒ දිනවල අපගේ සායනික අධ්‍යයන කටයුතු කෙරුනේද ඔහු නතරව සිටි වාට්ටුවේමය.

ශික්ෂණ රෝහලක සායනික අධ්‍යයන කටයුතු කෙරෙන වාට්ටුවකට රෝගියෙකු ඇතුලත් වූ පසු, එම රෝගියා වෙනුවෙන් වෛද්‍ය ශිෂ්‍යයෙකු අනුයුක්ත කරනු ලබයි.

අදාල වෛද්‍ය ශිෂ්‍යයා එම රෝගියා වාට්ටුවට ඇතුලත් වූ මොහොතේ පටන් රෝහලෙන් නික්ම යන මොහොත දක්වා, දිවා රාත්‍රී සිදුවන සියලු වෛද්‍ය ප්‍රතිකාර, පරීක්ෂණ සඳහා සහභාගී විය යුතුය.
ඒ නිසාම, රෝගියාගේ රෝග ඉතිහාසය, ඊට අදාල සමාජ වටපිටාව හා පෞද්ගලික තොරතුරු වල සිට රෝග විනිශ්චය, කෙරෙන ප්‍රතිකාර විධි ක්‍රම, පරීක්ෂණ හා ඒවායේ ප්‍රථිපලද, ප්‍රතිකාර සැලසුම පිළිබඳවද මනාවූ අවබෝධයකින් ඔහු සිටියි.

බොහෝ විට මේ නිසා රෝගීන්ට සෑම අවස්ථාවකම, තමා අසලින්ම හිඳින දැනුවත් මිතුරෙක් බවට මේ වෛද්‍ය ශිෂ්‍යයින් පත්වෙයි.

කපුගේ මහතා වෙනුවෙන් අනුයුක්ත වූ වෛද්‍ය ශිෂ්‍යයා වූයේ, මා මිතුරු දිනේශ්ය.
කපුගේ මහතා රෝහලට ඇතුලත්ව ඇතැයි දැනගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙන්ම කාර්‍ය මණ්ඩලයේ බොහෝදෙනාද ඔහු බැලීමට පැමිණියහ.
එහෙත්, එය ඔහුට බාධාවක් නොවනු පිණිස, විටෙක අමුත්තන් සීමා කිරීමටද සිදු විය.
කෙසේ වෙතත් දිනේශ්ට නම් කිසිදු බාධාවකින් තොරව ඔහු හා දොඩමලු වීමට අවස්ථාව ලැබුණි.

අප කණ්ඩායමේ එකා දෙන්නා, දිනේශ්ද සමඟ වරින් වර කපුගේ හමු වන්නට යන්නේ, ඒ අප බොහෝ දෙනාගේ ප්‍රියතම ගායකයන් අතුරෙන් දැවැන්තයෙකු වන ඔහු සමඟ, වචනයක් හෝ දොඩමලු වීමට ඇති ආශාව සංසිඳුවා ගැනීමටය.

මාධ්‍යයෙන් හා ඔහුගේ ගීත ඇසුරෙන් ඔහු පිළිබඳව ගොඩ නැඟී ඇති මහා ප්‍රතිරූපයට වඩා සැබෑ ජීවිතයේදී ඔහු ඇසුරේදී, ඔහු අප අතර ජීවත් වන ඉතා සරල සාමාන්‍ය මිනිසෙකු බව, ඔහු හා කෙටි හෝ පිළිසඳරක යෙදුනු අප කාගේත් මතය විය.

ඔය ආකාරයට අපගේ අජිත් මිතුරාද ඔහු හමු වීමට ගියේ, ගුවන් විදුලියෙන්, රූපවාහිනියෙන් ඇසූ දුටු තම ප්‍රියතම ගායකයා හැබැහින්ම දැක, වචනයක් දෙකක් කථා බහෙහි යෙදීමටය.

ඔහු දුටු සැනින් සිත් පිනා ගිය අජිත්, සංවාදයට ඇරඹුමක් සොයන්නට විය.
කපුගේටත් තමන්ටත් පොදුවූ මාතෘකාවක් ලෙස ගීතයක් ඇසුරෙන්ම කතාව ඇරඹීමට සිතූ අජිත්,

“කපුගේ මහත්මයා, ඔබ මගේ ප්‍රියතම ගායකයා, ඔබ හමු වීම මට මහත් සතුටක්.
ඔබේ ගීත අතුරින් මා වඩාත් ප්‍රියකරන්නේ....අ....අ....ප්‍රියකරන්නේ....අ.....හන්තානේ කඳු මුදුන සිසාරා...ගීතයයි.”

එය අසා සිටි කපුගේ,

ඇත්තටම ඔබවන්වූ රසිකයින් හමුවීම මටද සතුටක්, ආඩම්බරයක්.මමත් ඒ ගීයට බොහෝ ප්‍රිය කරනවා.
ඒත්........ ඒ ගීතය ගායනා කරන්නේ මම නම් නොවෙයි.... අමරදේව මහත්මයා.

එවිටම උලලේනෙකු හඬනු ඇසුනු අජිත්ට, අනේ මේකා මීට කලින් ඇඬුවා නම් යැයි කියවින.

මහත්තයෝ , ඕක, සංසාරේ හැටි තමා........කියා කපුගේ තාලයට කියූ බව, එකල අපේ කැම්පස් පුරාවෘත වලටද ඇතුලත් වූ මෙම සිදුවීමෙහි සඳහන් විය.

කපුගේ වාට්ටුවෙන් නික්ම යන දිනයේදී අප ඉල්ලීම හේතුවෙන්, කාටත් බාධාවක් නොවන ලෙස ගීත කිහිපයකින් අපව රසවත් කිරීමටද අමතක නොකලේය.

ඊට මාස කිහිපයකට පසු ඔහුගේ මරණය සැලවූ අපට ඇති වූයේ මහත් වේදනාවකි.

තම කටඬෙන් විශාල ජන පිරිසකගේ සිත් තුල හැඟුම් මතු කල ඒ ගායකයා සදහටම නිහඬවිය.

ගීතයක පද මාලාවෙන් මැවෙන්නාවූ චිත්තරූපයට ජීවයක් ලබා දෙන්නට සමත් වූ ඒ කටහඬ සදා නිහඬ වී ඇත.

ගීත ක්ෂේත්‍රයට අහිමිවන මෙවන් දක්ෂයින්ගේ අඩුව සපුරාලනුවස්, අහිමිවන වේගයට සාපේක්ෂව දක්ෂයින්ගේ සම්ප්‍රාප්තියෙහි ඇති ඌනතාව කෙතරම් ඛේදනීයද?

ඒ මට හිතෙන හැටිය.

Sunday, September 13, 2009

මං වයසට ගිහිල්ලා

දිනය; සැප්තැම්බර්13,වසර 2009,ඉරිදා දිනයක්,

සිත් දිනපොතෙන් බ්ලොග්දින පොතට,සටහන් අංක 11

මං වයසට ගිහිල්ලා..................................

රූපවාහිනිය මත තබා ඇති එහි දුරස්ථ පාලකය මත මකුලුවෙකු දැලක් බැඳ තිබුණි.

මාගේ රූපවාහිනී යන්ත්‍රය ඇත්තේ මාගේ නිදන කාමරය තුලය.
එසේ තබන්නට හේතුව හුදෙක්ම ඇඳට වී ඉතා සැහැල්ලුවෙන් එය නැරඹීමය.

කාර්‍යබහුල දිනයක සියලු වැඩ අවසානයේ ඉතා සැහැල්ලුවෙන් අඩ නිද්‍රාගතව ඒ දෙස බලා හිඳීම අමුතුම ආකාරයේ ආශ්වාදයක් ගෙන දෙන්නකි.

මේ පුරුද්ද ඇතිවුනේ සෑහෙන කලකට ඉහතදීය.එකල ඇතැම් විට රූපවානිය නරඹමින්ම නින්ද යයි.
විඩාබර සිතට සතුටක් හා විවේකයක්ද ,අලුත් දැනුමක් හෝ අලුතින් හිතන්නට යම් නිමිත්තක්ද මතු කරමින් එකල වැඩසටහන් දිග හැරුනි.

මකුලු දැලද ඉවත් කොට රූපවාහිනිය මත ඇති දුහුවිල්ලද පිස දමමින් මා සිතුවේ හුඟ කලකින් රූපවාහිනිය නැරඹීමට නොහැකිවූ බවය.

සවස සේවා මුරය සඳහා රෝහලට ගිය මා, ටිකක් වේලාසනින් එහි ගොස් තිබූ නිසා, විවේක කාමරය වෙත ගියේ කහට කෝප්පයක රස විදීමටය.

මිතුරෙකුත් සමඟ කතාබහෙහි යෙදෙමින් එහි සිටින අතර තුර එහිවූ රූපවාහිනියේ නන්දා මාලිනී විසින් ගයනු ලබන “සුළං කපොල්ලේ” ගීතය විකාශනය විය.
ඉබේටම වාගේ මට කියැවුනේ, අනේ, මේ වගේ ගීත තවමත් විකාශනය වෙනවා නේදැයි? කියාය.

ඒත් සමඟම අප කතාබහේ මාතෘකාවද රූපවාහිනිය වෙතට යොමුවිය.

ඔහුට මා පැවසුවේ බොහෝ කලකින් මා රූපවාහිනිය නැරඹුවේ නැති බවය.

එය නැරඹීම කාටවත් බාධාවක් වන බැවින්, එය නරඹන්නට එපා කියා කවුරුවත් කීවේවත් නැත.
නැරඹීමට මා හට ඕනෑතරම් කාලයද තිබිණ.
එහෙත් ඇයි මා මෑතක සිට රූපවාහිනිය නරඹන්නේ නැත්තේ?

මට දැන් බලන්න හිතෙන්නේ නැහැ... මම කීවෙමි.

හිතෙන්නේ නැති වන්නට හේතුව කුමක්ද? ඔහු විමසීය.

මමද ඒ ගැන එතරම් සිතා නොතිබිණ.
මේ ඒ ගැන විශ්ලේෂනය කිරීමට හොඳම අවස්ථාව යැයි හැඟුනු නිසා, ඔහුත් සමඟ එක්ව එයට හේතුවක් සොයන්නට වීමි.

යමක් බලන්නට හිතෙන්නේ, එහෙමත් නැතිනම් ආශාවක් උපදින්නේ, එමඟින් තමනට, යම් හෝ වින්දනයක් හෝ රසයක්, එසේත් නැතිනම් ප්‍රයෝජනයක් ලැබෙන්නේ නම් පමණි.
එසේ නම්,එයින් නිගමනය වන්නේ දැන් විකාශනය වන වැඩසටහන් වලින් මා හට එවන් වූ වින්දනයක්, රසයක් හෝ ප්‍රයෝජනයක් ඇති වන්නේ නැති බවය.

ඒ ඇයි ?... මිතුරා විමසීය.

ගීත නම් ගන්නට දෙයක් නැත.
සමහර ගීත වල තේරුම තියා ශබ්ද රසයවත් නැහැ.
ඔක්කොම ගීත රැප් වෙලාය. පොප්-හිපොප් වෙලාය.
ගීතයේ අර්ථය එක දිහාවකට ගලාගෙන යයි. රූප රචනාව තවත් කොහේදෝ දිහාවකට ගලාගෙනයයි.

ටෙලි නාට්‍යයද වැඩැක් නැහැ.
ගොඩක් ඒවායේ තියෙන්නේ එකම කථා තේමාවය.
වෙනස් වන්නේ චරිත වල නම් ගම් පමණය.
බොහෝ නාට්‍යය එක තැන පල් වෙයි.
සති ගණනකට පසුව බැලුවත් කිසිදු ප්‍රශ්ණයක් නැත. අතර මැද කතාව තමන්ටම ගොතාගත හැක.
ඒවා තුල හිතන්නට යමක් ඇත්තේම නැත.
කතා ඔහේ ගලාගෙන ගලාගෙන යයි.
හරියට ගඟක් ගලාගෙන ගලාගෙන ගිහිල්ලා මුහුදට වැටෙනවා වාගේය.

හාස්‍ය උත්පාදක නාට්‍ය බොහොමයක් ඇත.
ඒවායින් උපදින්නේ හාස්‍යයට වඩා ජුගුප්සාවය.

බොහෝ නලු නිළියන්ගේ රඟ පෑමද එසේමය.
ඔවුන්ගේ අභිනයන්, චරිතයේ හැඟීම් කිසිවක් උත්පාදනය කරන්නේ නැත.
ඇතැමුන් හරියට ප්‍රවෘත්ති නිවේදකයන් වාගේය.
ඔහේ දෙබස් කියයි.

විමර්ශණාත්මක, පර්යේශණාත්මක වැඩසටහන් නැතුවාම වාගේය.

ටික කලකට ඉහතදී, ඇතැම් චැනල හරියට බාල ඝනයේ යුධ චිත්‍රපටි වාගේය.
උදේ සිට රෑ වෙන තුරුම යුද්ධයය.
එකම ප්‍රවෘත්තිය එකම දවසේ විකාශනය වන වාර ගණන ගිනිය නොහැකි තරම්ය.
එයට වඩා කෙතරම් නිර්මාණශීලීව යුද්ධය වුවත් ඉදිරිපත් කරන්නට තිබුනාදැයි සිතුනු වාර අනන්තය.

බල්ලන්ට මැක්කන් බෝවන්නා සේම හැම චැනලකම SMS වැඩසටහන්ය.
ඇතැම් චැනල වල ඒවා උතුරා දෝරෙ ගලා යයි.

ප්‍රවෘත්තිද ඒ ආකාරමය.
දැන් එක එක මාතෘකා ඔස්සේ ප්‍රවෘත්ති කියයි.
ගම ගැන, රට ගැන, සංවර්ධනය ගැන, අපරාධ ගැන, ලෙස ඕනෑම විදියේ මාතෘකාවක් දාගෙන, ඒකට ඉස්සරහින් රූප රචනාවක්ද දාගෙන, ඒකට අනුග්‍රාහක භවතෙක්ද සොයාගෙන ඉදිරිපත් කරයි.
ඔය ඔක්කෝම කරත් හිතන්නේ නැත්තේ අන්තර්ගතය ගැනයි.
සමහර ප්‍රවෘත්ති වල අන්තර්ගතය‍ නිකම්ම නිකං පුස්සකි.
ඇතැම්විට ප්‍රවෘත්තියක් කියලද හිතාගන්නවත් බැහැ.
සමහරු එලිසමයට ප්‍රවෘත්ති කියයි.
ප්‍රවෘත්තියට අර්ථ කථන සපයයි.

ඒ ප්‍රවෘත්ති ගැනය.

උදේට එකෙක් පත්තර කියවන්න ගත්තහම අනෙකුන් ඔක්කෝම පත්තර කියවයි.
පැය ගණන් කියවලා කියවලා හති වැටෙනකම්ම කියවයි.

ඊට පස්සේ, මුණ හෝදයි, මේකප් දමයි, ව්‍යායාම කරයි, කෑම හදයි,ඒවා කයි,කේන්දර බලයි,ඊට පස්සේ සෞඛ්‍ය පාඩම, දවල් බත් කන වෙලාවෙ නොදිරවන ගීත,හවසට කමකට නැති කාටූන් නැත්නම් ළමා ගීත, ඇතැම් ඒවා නම් ළමයින්ටද වැඩක් නැතිවාසේය.
එයින් ඔබ්බට ගිය ළමා වැඩ සටහන්ද නැත.

ඔය ඔක්කොම මැද්දේ අතරින් පතර වෙලාව මතක්කර දෙයි. ඒ අතරෙම එකම ප්‍රවෘත්තිය එක එක විදියට කෑලි කෑලි කියයි.

හැම චැනලයක්ම එක වාගේය‍.
හරියට නිවුන් සහෝදරියන් වාගේය.
විවිධත්වයක් දන්නේම නැතුවා සේය.

ඉතින් ඔන්න ඕවා තමයි හේතු....මම කීවෙමි.

බලද්දි ඕනෑවාටත් වැඩිය හේතු ගොඩයි.
මම හිතන්නේ උඹ මහ සර්ව අසුභවාදියෙක්!.... මිතුරා කීවේය.

මටත් එහෙම හිතෙනවා.මම කීවෙමි.
ඒත්, එහෙමනම් මම ඇයි ඕවා ඉස්සර කිව්වේ නැත්තේ?

ඇයි?..........

ඒ, ඒ කාලෙ වැඩසටහන් මීට වඩා හොද නිසාද?
කලකට ඉහතදී ගිජු ලෙස රූපවාහිනිය නැරඹූ මා අද එසේ නරඹන්නේ නැත්තේ, පෙර වැඩසටහන් වලින් මා ලද රසය අද විකාශනය වන වැඩසටහන් වලින් මා හට ලැබෙන්නේ නැති නිසාද?

ඒක එහෙම වෙන්න බැහැනේ.
ලෝකේ දියුණු වෙද්දි ඔය අංශයනේ මුලින්ම දියුණු වෙන්නේ.

ඒ නිසා මම අසුබවාදියෙක් වෙන්නනම් බැහැ,මම කීවෙමි.

මට මෙහෙම හිතෙනවා.
මෙතන තියෙන්නේ පරම්පරා ප්‍රශ්ණයක්.

ඒකිව්වේ,? මිතුරා ඇසීය.

ඒ කිව්වේ, මම වයසට ගිහිල්ලා...

මට මේ අලුත් පරමපරාවේ වැඩසටහන් දිරවන්නෑ. ඒකයි,

මොකද........, මම නොබැලුවාට කොච්චර දෙනෙක් තලු මර මර ඕවා බලනවාද?
එවා හොදයි කියනවාද?

ඔව්, උඹ වයසට ගිහිල්ලා මිතුරා කීය.

ඔව්..........,ඒ කියන්නේ මම වයසට ගිහිල්ලා..........!
පරම්පරා පරතරයකුත් ඇති වෙලා .......!

ඒ මට හිතෙන හැටිය.

Tuesday, September 8, 2009

අනියම් පෙම

දිනය;සැප්තැම්බර් 08, වසර 2009, අඟහරුවාදා දිනයක්,

සිත් දින පොතෙන් බ්ලොග් දින පොතට-සටහන් අංක 10

අනියම් පෙම...............................

පසුගිය දිනෙක නුවර ගිය විටෙක කැන්ඩි සිටි සෙන්ටර් එක හරහා ගමන් ගත්තේ ඊට යාබදව ඇති රථ ගාල වෙත යනු පිනිසය.

එදින,එහි පහත මාලයේ පෙරදිග වාදක කණ්ඩායමක් සංගීතයෙන් යන එන පිරිස රසවත් කරමින් සිටියහ.

කඩිමුඩියේ එතැන පසු කරමින් සිටියත්, මාගේ ගමන මොහොතකට නවතාලූයේ, එම තරුණ කණ්ඩායමේ මධුර මනෝහර ගායන හා වාදන විලාශයයි.

කී බෝඩය, වයලීනය හා තබ්ලාව ඔවුන්ගේ වාදන භාණ්ඩ විය.

මොහොතකට පමණක් නතර වූවත් මටත් හොරා කාලය ගතව තිබුණු බව වැටහුනේ ගීත තුනක්ම ශ්‍රවණය කිරීමෙන් අනතුරුවය.
එතරම්ම ඔවුන්ගේ ගායනය හා වාදනය මිහිරිය.

හුරුපුරුදු මුහුණු හතරක් වුවත් ඔවුන් කවුදැයි හරියටම හඳුනා ගැනීමට නොහැකි විය.

දැහැන් බිඳ එතැනින් නික්ම යන්නට පෙර කරුණාරත්න දිවුල්ගනේ මහතාගේ මා ප්‍රිය කරන “ගහක මල් පිපිලා” ගීතය ගයන ලෙස කල ඉල්ලීම ඔවුන් සතුටින් ඉටු කලහ.

මේ ගීතය අසන හැම විටෙකම සරල වූ වදන් පෙලක් ගලපමින් ගැඹුරු වූ අර්ථයක් සරලව ඉදිරිපත් කිරීමට යමුනා මාලිනී පෙරේරා දක්වා ඇති දස්කම ගැන ප්‍රශංසනීය හැඟීමක් ඇතිවේ.

සොබාදහමේ වූ සංසිද්ධියක් සොබාදහමේම උපහැරන භාවිතයෙන් ඇය අපූරුවට ලියා ඇත.

ගැහැනියක හා පිරිමියෙකු අතර ඇතිවන ප්‍රේමය නියම හා අනියම් ලෙස බෙදන්නට සමාජය උත්සාහ කලත්, ප්‍රේමය ප්‍රේමයම වනු මිසෙක එහි නියම්-අනියම් බවක් ඇති නොවනු ඇත.
ඒ නිසාම අව්‍යාජ ප්‍රේමයට තහනමක් නොවනු ඇත.

කතරෙ වැලි කැට හිරුට පෙම් බැඳ ඇතත් ලෝ දහමින්
සොඳුරු වැස්සට දැවෙන කතරත් ආදරෙයි පණ මෙන්
ලොවට නොපෙනෙන අරුම සෙනෙහස ඒවගෙයි මනරම්
කරනු බැරි තහනම් ..........


හිරු හා බැඳෙමින්, දැවෙමින් එයට පෙම් බඳින කතරක්, එයට සිසිල ගෙන දෙමින් වහින වැස්සටද පණ මෙන් ආදරය කරයි.
මෙය අරුම වූ ආදරයකි.
මේ ප්‍රේමයේ අව්‍යාජත්වය ලෝකයාට නොපෙනුනත් එය වලකාලනු නොහැක.
එය තහනම් කරනුද නොහැකිය.

එලෙසම සමාජ සම්මතයන්ට අනුව විවාහික බැදීම හා ප්‍රේමය තුල වෙනත්
ප්‍රේමයකට ඉඩක් නොමැති වුවත්, එය තහනම් වුවත් සිතට සිසිලක් ගෙන දෙමින් ඇතිවන අව්‍යාජවූ එවන් ප්‍රේමයක් වලකාලන්නටද හැකි නොවනු ඇත.

සඳට සදහට සෙනේ පෑ මුත් උදුල තරු කැටයම්
හිරුට පෙම් බැඳි එකද තරුවක් සිටිය නොහැකිද යම්
නුඹට නොහැඟෙන මගේ ප්‍රේමය ඒවගෙයි මනරම්
පුදුම වෙයි නුඹ නම් .........

බොහෝ විවාහයන් තුල මෙවන් සබඳතා දැකිය හැකි නොවුනත් සුලු පිරිසක් අතර හෝ ලෝකයාට හොරා මෙවන්වූ ප්‍රේමයන් ඇති විය හැක.
එය හරියට රාත්‍රී අහසක සඳු හා බැඳුනු තරු බොහෝ දැකිය හැකි වුවත් දහවල හිරු ඇති විට එකදු තරුවක් නොපෙනුනද, සඳු හා පෙම් බැඳි තරු ගොන්නෙන් එකක් හෝ සැඟවී හිරුට පෙම් බැඳ සිටිය හැකිවා සේය.

ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමී
හිතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමී
නුඹට හිත බැඳුනේ කිමැයි මා තවම නොදන්නෙමී
නුඹට සිත බැඳි කාරණේ මම තවම සොයන්නෙමී


ඉතින් සිත් තුල මෙවන් වූ ප්‍රේමයන් හා බැඳීම් ඇති වන්නේ ඇයිද යන්න විග්‍රහ කල නොහැක්කේ, ගහක මල් පිපී සුවඳ දෙන්නේ ඇයිද යයි කිව නොහැක්කාසේය.

ඒ මට හිතෙන හැටිය.

Thursday, September 3, 2009

කෙටි චාරිකා හෙවත් short trips සහ අනංමනං

දිනය; සැප්තැම්බර් 03, වසර 2009, බ්‍රහස්පතින්දා දිනයක්

සිත් දින පොතෙන් බ්ලොග් දින පොතට සටහන් අංක 09

කෙටි චාරිකා හෙවත් short trips සහ අනංමනං.................

ලැබෙන විවේක අවස්ථාවන්හිදී ලඟ පාත ඇති සුන්දර හෝ යම් ඓතිහාසික වටිනාකමකින් යුතු ස්ථාන නැරඹීමට යාමට පුරුද්දක් ඇතිවූයේ විශ්ව විද්‍යාල සමයේදීය.

අප මෙවන් චාරිකා හැදින්වූයේ “short trips” යනුවෙනි.

එකල ඒ සදහා එක් වීමට ඕනෑම විටෙක සූදානමින් සිටි කුඩා මිතුරු කණ්ඩායමක් විය.
කාලය හා විවේකය ලැබෙන්නේ කොයි වේලේද එවන් අවස්ථාවන් බොහොමයක අප මේ ආකාරයට චාරිකාවේ යෙදුනෙමු.

මෙසේ ගියේ යම් දෙයක් නැරඹීමට හෝ යම් අත්දැකීමක් ලබාගැනීමේ අරමුණකින්ම නොව,බොහෝ විට අවිවේකී හා කාර්‍යයබහුලත්වයෙන් මිදී සිතට විවේකයක් සහ සහනයක් ලබා ගැනීමටය.

මෙම චාරිකා වල විශේෂත්වය වන්නේ,ගමන් ආරම්භයට වෙලාවක් අවේලාවක් හෝ පෙර සූදානමක් නොතිබීමය.

බොහෝවිට ගමන ආරම්භවන විටත් යන්නේ කොහේදැයි කිසිවෙකුත් නොදනී.

මාගේ කල්‍යාණ මිතුරු හා රූමා( නේවාසිකාගාරයේ එකම කාමරය බෙදා ගත් අනෙක් සගයා) වූ භාතිය, අප අවසන් වසරේ සිටින අවදියේදී, ඔහුගේ නිවසෙහි තිබූ ඩැට්සන් වර්ගයේ පැරණි මෝටර් රථය ගෙන ආවේ ගමනේ පහසුව හා කාලය ඉතිරි කර ගැනීමේ අටියෙනි.

එකල අප සිටියේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ “මාර්ස්” ශාලාවේය.
එය පිහිටියේ උස් ස්ථානයකය.එබැවින්ම එයට යාමට තරමක කන්දක් හා පඩිපෙලක් නැඟීමට සිදුවේ.

උදෑසන හත හමාරට පමණ දේශණ හා සායනික කටයුතු සඳහා පිටත් වන අප බොහෝ විට නැවතත් නේවාසිකාගාරයට පැමිණෙන්නේ රාත්‍රී නවයත් පසුවීය.
ඒ වන විට හොඳ පණ පහව ගොසිනි.

ඒනිසාම බොහෝදෙනෙකු අඩුම තරමින් බයිසිකලයක්වත් භාවිතයට පෙලඹුනේ එසේ නොමැතිව ඉතිරි පණ ටිකෙන් “මාර්ස්” දුර්ගය ගෙවා දමන්නට අපහසු නිසාය.

භාතියගේ මෙම වාහනය අපගේ එදිනෙදා ගමන් කටයුතු සඳහා පහසුවක් හා උපකාරයක් වූවාට අමතරව, අපගේ සුපුරුදු චාරිකා සඳහාද නිළ වාහනය බවට පත් වූයේ ඉබේටමය.

එය අපූරු වාහනයකි.වාහනය පැරණි වුවත් එන්ජිමෙහි නම් කිසිදු ආබාධයක් නැත.
රියදුරු අසුනට යාබද ඉදිරිපස අසුනට පහලින් කකුල තබා ගන්නා ස්ථානයේ ෆ්ලෝර් බෝඩය දිරා ගොසිනි.
ඒනිසා එතැනින් බැලූවිට මාර්ගය පෙනේ.කකුලක් වුවද එතැනින් දමා පාර පෑගිය හැකිය.
එහි භයංකාරත්වය වසන්නට හා හදිසියෙන්වත් කකුලක් යෑමෙන් වලක්වාලන්නට ඒමත කාපට් එකක් දමා ඇත.
වාහනය ගමන් ගන්නා විට, නොදන්නා කෙනෙක් කාර්පට් එකමත බරට කකුල තැබුවෝතින් කකුලට සිදුවන්නේ කුමක්දැයි අමුතුවෙන් කිව යුතු නැත.
බොහෝයතුරුවලින් මෙම වාහනයේ දොරවල් ඇරිය හැකිවා පමණක් නොව වාහනය පණ ගැන්වීමටද හැකියාව ඇත. මේ බව දැන හුන්නේ මමත් මාගේ අනෙක් කල්‍යාණ මිතුරා වූ දිනේශ් ද පමණය.

දිනක් භාතිය වාහනය පීඨ භූමිය තුල නවත්වා දේශණ සඳහා ගියේය.
මමත් දිනේශුත් ඊට මොහොතකට පසු පැමිණියේ එම දේශණයටම සහභාගී වීමටය.

වාහනය දුටු අපට පහල වූයේ අපූරු අදහසකි.

ඒ අනුව අප දෙදෙනා, මා ලඟ තිබූ යතුරකින් වාහනය පණ ගන්වා වෙනත් ස්ථානයකට රැගෙන ගොස් නැවැත් වූයෙමු.

දේශණය අවසන අප සියල්ලන්ම සායනික කටයුතු සඳහා පිටත් වීමට එලියට පැමිණියෙමු.
භාතිය වාහනය නැවැත්වූ තැන දැන් වාහනය නැත. දෙලෝ රත්වී ඔහු වාහනය සොයයි.
වාහනයට වූ දේ ගැන විවිධ හේතු පැහැදීම්ද, විමර්ශනාත්මක අදහස්ද, බොහෝදෙනා ඉදිරිපත් කරති.
එහෙත් තවමත් වාහනය සොයාගත නොහැක.
බහුතරයකගේ මතය වූයේ කිසිවෙකු හෝ වාහනය සොරා ගන්නට ඇතැයි කියාය.
ඒ සමඟම මතුව ආ අනෙක් තර්කය වූයේ එතරම් අවදානමක් දරා මෙතරම් අබලන් වාහනයක් සොරාගන්නා කව්දැයි කියාය.

කෙසේ හෝ අවසාන තීරණය වූයේ විශ්ව විද්‍යාල ආරක්ෂක අංශයට හා පොලීසියට මේ බව පැමිණිලි කරන්නටය.

දැන් වැඩේ දුර දිග යන බව මටත් දිනේශ්ටත් තේරුම් ගියේය.

මෙහිදී අප දෙදෙනාට අන් අයගෙන් වසන් කලයුතු කාරණයක් වූයේ ඕනෑම යතුරකින්රථය පණ ගැන්විය හැකි බවය.

එය එළි වුනෝතින් දිනපතාම මේ සිද්ධිය අන් අය විසින්ද කරනු ඇත.
එසේ වීම අප මිතුරාට මෙන්ම අපටද හිසරදයක් විය හැක.
මන්ද වාහනය හොයනවා හැරෙන්නට වෙනත් කටයුත්තකට අපට කාලයක් ඉතිරි නොවනු ඇත.

එනිසා අප දෙදෙන වහා ඉදිරිපත් වී පැමිණිල්ල සඳහා අප දෙදෙනා පමණක් භාතිය සමඟ යෑමට කටයුතු කර අනෙක් සියල්ලන් ඔවුන්ගේ කටයුතු සඳහා පිටත් කර යැවීමු.

සියල්ලන්ම පිටත්වූ පසු කාරණය පැහැදිලි කර වාහනය සොයාදුන්නද විහිලුව හේතුවෙන් මිතුරාගේ ඇසේ ඇති වූ රත ඉවත් වීමට නම් ටික කලක් ගත විය.

පසුව සියල්ලන්ම සිතුවේ භාතියට අමතක වී වාහනය වෙනත් තැනෙක නවැත් වූවා කියාය.

විශ්ව විද්‍යාලයෙන් පිටවූ පසු අප සියල්ලන්ටම සේවය සඳහා රටේ විවිධ ස්ථානයන්ට විසිරී යන්නට සිදුවිය.

නමුත්, අප කාටවත් කෙටි චාරිකා වේ පුරුද්ද නම් හැරුනේ නැත. අප සියල්ලන්ම සිටින සිටින තැන්වල් එකතුවන පිරිස් සමඟ චාරිකාවේ යෙදුනෙමු.

මමත්, බිරිඳත් පත්වීම් ලැබ ගාල්ලට ගිය විට, එහිදී මේ සඳහා අපූරු මිතුරෙකු හමු විය.
ඒ අපත් සමඟ එකට සේවය කල වෛද්‍යවරයෙකු වූ නවින්දුය.
විවිධ පොතපත පරිශීලනයෙන් හා ඇසූපිරූ තැන් ඇති මොහු හා සමඟ චාරිකාවේ යෙදීම ආශ්වාද ජනකය.ඒ දිනවල ඔහුත් සමඟ ගාල්ලේ බොහෝ තැන් වල චාරිකාවේ යෙදුනෙමු.

ගාල්ලෙන් මාරු වීම් ලැබ මා ගියේ මහියංගනයටය.

අපගේ නවින්දු මිතුරාට ඌව පළාතේ සංචාරයක් කිරීමේ අශාවක් උපන්නේය.
මටද මේ පළාතේ හරි හමන් සංචාරයක් කිරීමට තරම් නියමාකාරයෙන් (“සෙට් වන”) පුද්ගලයන් හමුවූයේ නැත.
මා, මහියංගනයෙන් මාරුවීම් ලැබ යන්නට ආසන්නයේදී පමණ, නවින්දු හා මා තීරණය කලේ ඌව පළාතේ, දින දෙකක පමණ කෙටි සංචාරයක් කිරීමටය.

සංචාරය සංවිධානය කලේ මමය.
මේ සඳහා කියාපු මෝටර් බයිසිකලයක්, මා නතරවී සිටි නිවෙස් හිමි දිසානායක මහතාට තිබුනු අතර ඔහු එය මට ලබාදීමට එකඟ විය.

දින දෙක තුල බොහෝ ස්ථාන නැරඹීමට අවශ්‍ය වූ බැවින් දින කිහිපයකට පෙර සිටම මා පොත පතින් හා සිතියම් ඇසුරින් චාරිකාච සැලසුම් කළෙමි.
යන ස්ථාන වලට අමතරව ඒ ස්ථාන ගැන කෙටි හැඳින්වීමක්ද කිරීමට මා කරුණු කිහිපයක් සොයාගතිමි.

අදාල දිනයේදී නවින්දු ගාල්ලේ සිට බදුල්ලට පැමිණියේය.
ඔහු පිළිගන්නට මා උදෑසනින්ම මහියංගණයේ සිට බදුල්ලට ගියෙමි.
අප හමු වූයේ මුතියංගන විහාරය ඉදිරිපිටදීය.
සැලසුමට අනුව චරිකාව ඇරඹෙන්නේද එතැන් සිටය.

ඒ අනුව අදාල ස්ථානයන් ගැන පොතපතින් අහුලාගත් තොරතුරු මතකයේ හැටියට ඇද බාන්නට වූයේ, ඔහුට ඒ ස්ථාන ගැන යම් අදහසක් ලබාදීමේ අරමුණෙනි.
විස්තර අසා සිටින ඔහුගේ මුහුණෙහි කිසිදු ආශ්වාදයක් හට නොනැඟුනි.
මොහොතකින් මාගේ කථාව නැවැත්වූ ඔහු, ඕක ඔහොම නෙවෙයිනේ,... මේ ස්ථානය හැදුවේ ක්‍රි.ව......., සියවසේ,.....රජතුමා,.......,මෙන්න මේ හේතුව නිසා.... ඊට පස්සේ මේකට මෙහෙම වුනා..... මෙහි නම ඇතිවුනේ මෙන්න මේ හේතුව නිසයි... කියාගෙන කියාගෙන ගියේය.

එතැනින්ම මම මාගේ විස්තර කථනය නැවැත්වූයේ ග්‍රන්ථ රචකයෙකුට තම පොත් ගැන වෙනත් කෙනෙකුන් කියා දෙන්නට හදනවා වැනි වැඩක් මා කළ බැව් වැටහුනු නිසාය.

මේ ගැන සිහි කරන හැම විටකම ඔහුටද මටද නැඟෙන්නේ එකම සිනහවකි.

මහියංගනයෙන් මාරු වීම් ලැබ මා නැවත නුවර ප්‍රදේශයට පැමිණෙන විට දිනේශ් මිතුරාද නැවත නුවරට පැමිණ සිටියේය.

දැන් නැවතත් පරණ පුරුද්දට වාගේ අප දෙදෙනා ලැබෙන විවේකයන්හි කෙටි චාරිකාවල යෙදෙමු. එකලට වඩා වගකීම්ද, බැඳීම්ද දැන් තිබුනත් චාරිකාවකින් ලබන්නාවූ ආශ්වාදය හා විවේකය පෙර සේම බව හැඟෙයි.

චාරිකාවකින් අපට ලැබෙන්නේ දැනුම හා විනෝදය පමණක්ම නොවන බව මාගේ වැටහීමයි.
ගමනක විඩාවක් තිබුනද විඩාව ඉක්මවූ විවේකයක් චාරිකාව තුලින් මනසට ලැබේ.

නොදැනුවත්ව හෝ ගත කරන ඒකාකාරී ජීවිතයෙන් අප මුදවමින් විවිධත්වයේ සුන්දරත්වය කියා දෙන්නට චාරිකාව සමත්ය.

පෙර සූදානමක් නොමැති කෙටි චාරිකා වලට හුරු වුනෝතින් අප අවටින්ම අප නුදුටු ස්ථාන කෙතරම් අපට වසන්ව ඇත්දැයි තේරුම් යන්නට වැඩිකලක් ගත නොවනු ඇත.

ශ්‍රී ලංකාව තරම් විවිධත්වයෙන් අනූන වෙනත් රටවල් ඇත්නම් ඒ අතලොස්සක් විය යුතුය.

උග්‍ර නාගරීයත්වයේ සිට ඉතා පිටිසර ග්‍රාමීයත්වය කරාද, ශුෂ්ක දේශගුණයක සිට ඉතා සිසිල් සෞම්‍ය දේශගුණයක් කරාද,ගමන් කිරීමට මේ රට තුල ගත වන්නේ පැය කිහිපයක් වැනි සුලු කාලයකි.
ඒ කාලය තුල විවිධ සමාජීය පැතිකඩයන්ද අත් විඳීමට ඉඩ ලැබෙනු ඇත.
සංකීර්ණ සමාජ ව්‍යුහහයන් මෙන්ම සරල ආදිවාසී සමාජ ව්‍යුහයන්ද, විවිධ වූ ආගමික හා සංස්කෘතික අනන්‍යතාවයන්ටද උරුමකම් කියන මේ දේශයෙහි වැසියන් වීම කෙතරම් භාග්‍යවන්තකමක්ද?

එහෙත් හිසක් නැති රියදුරන් පැදවූ රියක් බවට අප රට පත් වූයේ රියදුරාගේම වරදින් නොව එවන්වූ රියදුරන් ඉතා ආශාවෙන් පත් කරනු ලබන අප රට වැසි සියල්ලන්ගේම වරදින් බව සිතේ.

ඒ මට හිතෙන හැටිය.

Monday, August 31, 2009

විවාහය

දිනය: අගෝස්තු 31,වසර 2009,සඳුදා දිනයක්

සිත් දින පොතෙන් බ්ලොග් දින පොතට සටහන් අංක 08

විවාහය....................

කිසියම් හේතුවක් පදනම් කරගෙන දෙදෙනෙකු අතර ඇතිවන ආකර්ශනය නිසාවෙන් ලංවීමක් සිදුවේ.
ලංවීම හේතුවෙන් බැඳීමක් ඇතිවන අතර, ඉන් ආදරයක් හට ගනී.

එලෙස හට ගත්තාවූ ආදරයේ පැවැත්ම නීතියෙන් සහතික කරගනුවස් විවාහයක් සිදුකර ගනී.

විවාහයකදී පුද්ගලයන් දෙදෙනෙකු එකට වාසය කිරීමට නීතිමය බැඳීමක් ඇති කර ගනී.
නීතියෙන් ඇතිකල බැඳීම මනැසින්ද ඇතිවීමට නම් සපුරාලිය යුතු බොහෝ කාරණා තිබේ.

ආදරය යනු කුමක්ද ? ,
ආදරයේ පැවැත්ම තීරණය වන්නේ කුමකින්ද ? ,
විවාහික බැඳීමක ආදරයක් පැවතිය යුතුමද ?.

මේවාට විවිධවූ සංකීර්ණ උත්තර හා හේතු පැහැදීම් බොහෝ දෙනා දෙනු ඇත.

සමාජයේ බොහෝ පතල, ආදරයේ සංකේත බඳු වූ ඇතැම් පෙම්වතුන්ගේ විවාහ එතරම් දුර දිග නොගොස් කඩාකප්පල් වන අතර, එසේ නොවුනු පෙම්වතුන්ගේ හා යෝජිතව ඇති කර ගත් බැඳීම් මත සිදුවන ඇතැම් විවාහයන් සාර්ථකව ඉදිරියට යනු දැකිය හැක.

එසේනම් විවාහයක පැවැත්මට සාම්ප්‍රදායිකව අර්ථ දක්වන ආදරයට ඔබ්බෙන්වූ සාධකයක් බලපාන්නේද?

මෙලොව උපදින දෙදෙනෙක්, කිසිම විටෙක, ගතිගුණ, අවශ්‍යතාවන් හා දෘෂ්ඪීන්ගෙන් එක හා සමාන වන්නේ නැත.

එය යතාර්ථයකි.

බොහෝ විට සිදුවන්නේ, ආදරය හේතුවෙන් දෙදෙනෙකු අතර පවතින මෙම අසමානතාවය යන යතාර්ථය පිළිබඳ අවබෝධය, දෙදෙනා තුලින් ගිලිහී යාමය.

එනම් දෙදෙනා දෙදෙනෙකු නොව එක් අයෙකුම බව සිතන්නට පෙළඹීමය.

එවිට තමාගේ ආශාවන් හා අවශ්‍යතාවන් අනෙකාගේද ආශාවය , අවශ්‍යතාවයය, තමාගේ දෘෂ්ඪිය අනෙකාගේද දෘෂ්ඪියය මය යන මිථ්‍යාව තුල දෙදෙනාම එල්බ ගනී.

යතාර්ථයේදී එය එසේ නොවන බැවින්, ගැටුමේ ආරම්භය එතැනින්ම සනිටුහන් වෙයි.

ඉතින් ගැටුම සංසිඳෙන්නේ හෝ ගැටුමක් පැන නොනඟින්නේ, ගතිගුණවලින්ද, අවශ්‍යතාවයන් හා ආශාවන්ගෙන්ද, දෘෂ්ඪීන්ගෙන්ද දෙදෙනා එක් අයෙකු නොව දෙදෙනෙකු බව අවබෝධ කරගත් විටය.

එවිට පුද්ගලයන් දෙදෙනෙකු එකිනෙකාගේ පුද්ගලබාවයට ගරු කරමින් යන එකඟතාවයේ ගමන ඇරඹේ.

එය යතාර්ථතයට සමීප බැවින්, එවන්වූ සබඳතාවයක පැවැත්ම හා බැඳීම ශක්තිමත් ය.

එවන්වූ සබඳතාවක් තුල දෙදෙනාම තම පුද්ගලබාවයේ නිදහස භුක්ති විඳින අතර එහිදී එකිනෙකා කෙරෙහි ඇති වන්නේ අපමණ ගෞරවයකි.

එම ගෞරවය තුල එකිනෙකා තම පුද්ගලබාවය කැප කරමින් අනෙකාගේ පුද්ගලබාවයේ නිදහසට ඉඩ දෙන්නට තරම්වූ නිහතමානීත්වයක් ඇතිකර ගනී.

මෙවන් වූ බැඳීමක් ගැන කියැවෙන, රඹුකන සිද්ධාර්ථ හිමි විසින් රචනා කල ගීයක් කරුණාරත්න දිවුල්ගනේ ගායනා කරයි. එහි සංගීතය එච්.එම් ජයවර්ධන ගේය.

ගීතයේ වදන් වල අර්ථය හා හැඟීම මතු කරලීමට මෙම දක්ෂ ගායකයාගේ හා සංගීතඥයාගේ දායකත්වය කෙතරම් ඉවහල් වී ඇත්ද යන්න මේ ගීතය ශ්‍රවණයේදී ඇතිවන හැඟීමෙන් මොනවට පැහැදිලිවේ.


ලා දලු බෝපත් සෙමින් සැලෙනසේ යසෝදරාදේවී
වාවනු බැරි තැන රහසේ හැඬුවා පෙර සංසාරේ ඇසුර මතක්වී........

ලේන කුලේ සිට ආගිය මඟ තොට සිටියා නොසැලෙන පහන් ටැඹක් වී
නිවන් දකින තුරු මේ සංසාරේ පසුපස ආවා සෙවනැල්ලක් වී.........

තැලී සෙනේ සිත සැලී හඬන විට වැටී දෙපා ලඟ යසෝදරාවෝ
පිපී නිවන් මල් සාදුකාර දී නිවී පහන් විය උදෑසනක් සේ.............

තම අරමුණ ඉටු කරගනු වස්, දීර්ඝ වූ සංසාරයේ තමන් හා බැඳී, නොසැලෙමින් තමා සොයා යන මාර්ගයට එලියක් වෙමින් ආ ප්‍රියාවියව, හැර යද්දී, තමන්ට පෑ ස්නේහය හා බැඳීම හේතුවෙන් ඇගේ සිත රිදී හඬා වැටෙයි.

ඇය වියෝ දුකින් හඬා වැටුනත්, ඇගේ ඒ වේදනාව හෝ හැඬුමවත් ඔහුගේ අරමුණ ඉටු කර ගන්නට බාධාවක් වන්නට ඇය ඉඩ නොතබන්නීය.

එසේ හෙයින්ම, ඔහු තම අරමුණ සාක්ෂාත් කර ගන්නේය.

එය හරියට, තම අරමුණ ඉටු කරගන්නාතුරු තමන්ට පිට දෙන්නට ඉඩ දෙමින්, තමන්ට සෙවන සැලසූ බෝ රුකෙහි ලා දලු වන්වූ බෝපත් තම චිත්ත ඒකාග්‍රතාව නොබිඳිමින්ම සුළඟට සැලෙන්නා වාගේය.

මෙවන්වූ බැඳීම් ඇති විවාහයන් කෙසේ නම් දෙදරයිද?

එවන්වූ බැඳීමක් සහිත විවාහයන් කෙතරම් ප්‍රීතිජනකද?.......

ඒ මට හිතෙන හැටිය.

Saturday, August 29, 2009

වවුල් ප්‍රේමය

දිනය: අගෝස්තු 29, වසර 2009, සෙනසුරාදා දිනයක්

සිත් දින පොතෙන් බ්ලොග් දින පොතට - සටහන් අංක 07

වවුල් ප්‍රේමය.................................

නව යොවුන් වියට එලැඹීමත් සමඟ තරුණ තරුණියන් අතර ඇති වන ආකර්ශනයට හේතුව, ඒ හා සමඟ ඔවුන්ගේ ශරීර තුල සිදුවන ජෛව විද්‍යාත්මක වෙනස්කම් ය.

මෙම ආකර්ශනය හේතුවෙන් එකිනෙකා අතර ඇතිවන බැඳීම් හා සම්බන්ධතාවල ප්‍රකාශනය තීරණය වන්නේ, ඔවුන් සිටින්නාවූ සමාජ හා සංස්කෘතික වටපිටාව මතය.

සමාජයද, සංස්කෘතියද කෙතරම් සීමා මායිම් හා වැට කඩොලු දැම්මද
එක්තරා සීමාවක් අභිබවා මෙම ප්‍රකාශනය සීමා කල නොහැක්කේ, බඩගින්න සේම මෙයද ජෛවීය අවශ්‍යතාවයක් බැවිනි.

බොහෝ විට ඉහල සමාජ පැලැන්තියට මෙම සීමා මායිම බලපැවැත්වෙන්නේ අල්ප වශයෙනි.

එනිසා, සරලව කිව්වොත් ඔවුන්ට පෙම් කරන්නට එතරම් බාධාවක් නැත.

ඔවුන් යන්නේ එන්නේ වාහනයෙනි.
එහිදී ඔවුන්ගේ කතා බහට හා හැසිරීමට කිසිදු බාධාවක් නැත.
ඔවුනට හමුවන්නට, දොඩමලු වන්නට සුපිරි හෝටල්ද, ඒවායේ අලංකාර උද්‍යානද ඇත.
අවශ්‍යනම් එවැන්නකින් කාමරයක් වුවද ලබාගත හැක.
පොලීසියෙන් හෝ සමාජයෙන් හෝ එබිකම් කරන්නවුන්ගෙන් හෝ ඔවුන්ට කිසිදු බාධාවක් නොමැත.
නිදහසේ ඔවුන්ට පෙම් කල හැක.

මා දන්නා තරමින්, ඉහල සමාජ පන්තියට අයත් නොවුනත් එතරම් බාධාවක් නැතිව පෙම් කරන අනෙක් කණ්ඩායම වන්නේ විශ්ව විද්‍යාල පෙම්වතුන් හා පෙම්වතියන්ය.
ඒ, විශ්වවිද්‍යාල උප සංස්කෘතිය තුල, ඒ සඳහා ඇති අවකාශය හා සුරක්ෂිත පිළිගැනීම නිසාය.

එහෙත් ප්‍රශ්නය ඇත්තේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් නොවන හා ඉහල සමාජ පන්තියට අයත් නොවන, පෙම්වතුන් හා පෙම්වතියන්ටය.

ඔවුන්ගේ වාහනය බස් රථය ය.
එහිදී, සියල්ලන්ගේම දෑස් ඔවුන් වෙත යොමු වෙයි.
ඒ, ඔවුනට තමන් වට කරමින්, එහි ටින්ට් ආවරන නොමැති නිසාය.
තම කතාබහ, අනුනනට ඇසේවිදෝය යන බිය නිසා, ඔවුන් රහසේ කොඳුරති.

හමුවන්නට, දොඩමලු වන්නට හෝ මොහොතක් තනිවෙන්නට ඔවුනට උද්‍යානයක් හෝ නිදහස් හා සුරක්ෂිත තැනක් නැත.
ඇත්තේ පොදු උද්‍යාන හෝ උද්භිද උද්‍යානයන් ය.
නැතිනම් චිත්‍රපටි ශාලාය.
මේවායෙහි ඔවුන්ට සියල්ලන්ගෙන්ම බාධා ඇතිවේ.

ආරක්ෂක නිලධාරීන් හෝ පොලීසිය ඔවුන් එලවති.
නැතිනම් අත් අඩංගුවට ගනිති.
එබිකම් කරන්නෝද ඇති පදම එබිකම් කරති.
ඒ සියල්ල මැද ඔවුන්ද පෙම් කරති.

මේ ගැන මට ලියන්නට සිත් වූයේ පසුගිය දිනෙක මා පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය වෙත ගිය විටෙක දුටු දෙයක් නිසාය.

උද්‍යානයේ ඇති සෑම ගසක් පාසාම වාගේ පෙම්වතුන් ජෝඩුය.

වරින් වර ආරක්ෂක නිළධාරීන් නඟන විසිල් නාදයත් ඔවුන්ගේ ගෝරනාඩුවත් ඇසෙයි.

එවිට මේ ජෝඩු සියල්ලන්ම තමන් සිටි ගස් අත හැර වෙනත් ගස් සමූහයක් කරා ඇදෙති.

මෙම සිදුවීම වරින් වර සිදුවන බැවින් නැවතත් ඔවුනට, තමන් මුලින් සිටි ගසටම හෝ ඊට ආසන්න ගසකට පැමිණෙන්නට සිදුවිය හැක.

උද්භිද උද්‍යානය පුරා ඇති විශාල ගස් වල වවුලන් රාශියක් වසා සිටිති.
ඔවුන් වරින් වර තමන් සිටින අත්ත අතහැර වෙනත් අත්තක වසති.

එය දුටු මට සිතුනේ මෙහි සිටින පෙම්වතුන්ද මේ වවුලන් වාගේය කියාය.

ඔවුනට එසේ වී ඇත්තේ, ඔවුන්ගේ උවමනාවකට නම් නොව මේ සමාජයේද, උත්තරීතර සංස්කෘතියේද උවමනාව නිසාය.

ඒ මට හිතෙන හැටිය.

ජයග්‍රහණය හා බැඳි ශෝකය

දිනය: අගෝස්තු28, වසර 2009,සිකුරාදා දිනයක්

සිත් දින පොතෙන් බ්ලොග් දින පොතට-සටහන් අංක 6

ජයග්‍රහණය හා බැඳි ශෝකය.....................................

ජයග්‍රහණයක් හා සබැඳිව ඇත්තේ සතුටයි.

එහෙත් ජයග්‍රහණය යුද්ධයකින් නම්, සතුට හා අත්වැල් ගත් දුකක්ද ඒ හා බැඳී ඇත.

ඒ යුද්ධය අපට බොහෝ දේ දිනා දෙන අතරම බොහෝ දේ අපට අහිමි කරන බැවිනි.

දශක තුනක් තිස්සේ ඇදුනු යුද්ධයේ ජයග්‍රාහී නිමාව තවමත් අප සමරමින් සිටිමු.
ඒ අපි කාට කාටත් යුද්ධයේ විපාක යම් පමනකින් හෝ දැනී තිබුණු බැවින්, එහි නිමාව අප කාගේත් සිත් තුල සතුටක් ඇති කරන නිසාවෙනි.

එහෙත්....මේ සතුට තුල අපට අමතකව යන්නේ,ඒ හා බැඳුනු දුක හා ශෝකය ය.

එහෙත්....ඒ දුක අමතකව නොයන හා එහි පීඩාව ජීවිතය පුරාම විඳිමින් ගත කරන පිරිසක් අප අතරම සිටියි.

ඒ යුද්ධයට මැදිවූ හා එහි සෘජු විපාකයන්ට ලක්වූ අහිංසක සිංහල හා දෙමළ ජනයා සහ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් සටන් වැද ආබාධිත වූ හමුදා සෙබලුන් හා එල්.ටී.ටී.ඊ සාමාජිකයන්‍ ය.

ඔවුන් තම ඉදිරි ජීවිත කාලයම ඒ වේදනාව තුරුලු කර ජීවිතය ගෙවනු ඇත.

පසුගිය යුධ සමයේ,යුද්ධයෙන් තුවාල ලත් සෙබලුන් හා සිවිල් වැසියන් ප්‍රතිකාර සඳහා අප රෝහලටද ඇතුලත් කරන ලදී.

බහුතරයකට තම අත්පා ආශ්‍රිතව තුවාල සිදුව තිබූ අතර ඇතැමෙකුට ඒ හේතුවෙන් තම අත් හෝ පාද හෝ අහිමි විය.
ඇතැමෙක් එම තුවාල වල සංකූලතා හේතුවෙන් තම ජීවිත වලින් වන්දි ගෙවීය.

බොහෝ සෙබලුන් තම තුවාල වල වේදනාව හා ඒ හේතුවෙන්ම සිදුවූ එක්තැන් වීමෙන් සිදුවූ අසරණ භාවය ඉවසා දරා ගත්තේ, තමන් ඒ පරිත්‍යාගය කලේ යම් අරමුණක් උදෙසා බැවින් ය, යන ආකල්පය හා එම අරමුණ පාවා දීමකින් තොරව සෙස්සන් දිනා දේවී යන බලාපොරොත්තුවත් නිසාවෙනි.

ඒනිසාම යුද්ධයේ ජයග්‍රහණය ඔවුන්ට සතුට ඉක්මවූ ධෛර්‍යයක් වනු ඇත.
ඒ ධෛර්‍යය තාරුණ්‍යයේ සිටින ඔවුන්ට,ඔවුන්ගේ දීර්ඝ වූ ඉදිරි ජීවිතය ගෙවා දමන්නට ශක්තියක් වන්නේය.

යුද්ධයට මැදිවූ හා එහි සෘජු විපාකයන්ට ගොදුරු වූ මෙම හමුදා සාමාජිකයන් හා සිවිල් වැසියන් හට යුද්ධයේ නිමාව සතුටක් ගෙන දුන්නද, යුද්ධය ඔවුන්ට උරුම කරමින් ඉතිරිකර ගිය ඛේදනීයත්වය,ඉදිරි ජීවිතය පුරාවට ගෙන දෙනු ඇත්තේ ශෝකයකි.

යුධ ජයග්‍රහණයෙන් උද්දාමවී ජය පැන් බොමින්,ජය ඝෝෂා නඟමින්, හැසිරෙන්නවුන් බොහොමයකට,ඔවුන්ගේ සතුටට මූල හේතුව වූ යුද්ධය විසින් උරුම කර දුන් ශෝකය අත් විඳිමින් ජීවිතය ගෙවන ඉහත පිරිස ගැන කිසිදු හැඟීමක් නැත.

විරු ගීත වලටවත්,උත්සව වලටවත්,ජය ඝෝෂාවටවත් ඔවුන්ගේ හිතේ උපන් ගින්න,ශෝකය මැකිය හැකි නොවනු ඇත.

අහිමිවූ සියල්ල ලබා දිය නොහැක.

එහෙත්, වගකීමක් ඇති පුරවැසියන් ලෙස, අප එකිනෙකාගේ ශක්තියේ,තරාතිරමේ හැටියට, මේ පිරිසට ලැබෙන ඕනෑම විටෙක පිහිටක් උපකාරයක් වීම හා සුහදත්වයක් දැක්වීම කල යුතුව ඇත.

එවිට ඔවුන් හට “අපි වෙනුවෙන් අප” පමණක් නොව සියලු ශ්‍රී ලාංකික සහෝදර ජනතාවම සිටින බව හැඟෙනු ඇත.

එයයි අප කල යුතුව ඇත්තේ, එයයි අපේ වගකීම විය යුත්තේ.

ඒ මට හිතෙන හැටිය.

Monday, August 24, 2009

සරුංගලේ

දිනය: අගෝස්තු 24, වසර 2009
සඳුදා දිනයක්,

සිත් දින පොතෙන් බ්ලොග් දින පොතට - සටහන් අංක 05

සරුංගලේ......................................

මටත් බිරිඳටත් සීමාවාසික වෛද්‍ය පත්වීම ලැබුනේ ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහල වෙතය.

ඉතාම කාර්‍යබහුල හා අවිවේකි කාල සීමාවක් වූ එකල විවේකයක් ලැබුනේ කලාතුරකින්ය.

කලාතුරකින් හෝ ලැබෙන එවන්වූ විවේකයකදී අප බොහෝ විට යන්නට යෙදුනේ ගාලු කොටුව වෙතය.

එහි ගිය එක්තරා සවස් වරුවක, එතැන සරුංගල් වෙළෙන්දන් කිහිප දෙනෙකු සිටිය අතර ඔවුන් චීනයෙන් ආනයනය කරන ලද විචිත්‍ර වූ, විවිධ ප්‍රමාණයෙහි හා විවිධ සතුන් හා හැඩතලයන්ගෙන් යුතු වූ සරුංගල් විකුණමින් සිටියහ.
නූල් පන්දුව සමඟ සරුංගලය රුපියල් සියයේ සිට ඉහලට විවිධ මිල ගනන් වලට විකිණින.

එදින ගාලු කොටුවේ බොහෝ සෙනඟක් සිටි දිනයක් විය.

බාල, තරුණ, මහලු බොහෝ දෙනා සරුංගල් මිලට ගෙන සරුංගල් අරිමින් සිටියහ.
එහි සිටි බොහෝ දෙනෙකු මෙන්ම අපද සරුංගල් යැවීමට තීරණය කලෙමු.

සරුංගලයක් මිලට ගත් අප එය යැවීමට සුදුසු ස්ථානයකට ගියෙමු.
තරමක් සෙනඟ අඩු ස්ථානයකට ගිය අප දෙදෙනා සරුංගලය යැවීමට සැරසුනෙමු.

සරුංගලය අතැතිව බිරිඳ ඈතින් සිට ගත් අතර මා නූල් පන්දුව අතට ගතිමි.
හොඳින් හමන මුහුදු සුලං රැල්ලත් සමඟ සරුංගලය කෙමෙන් අහසට නැඟ ඉන්පසු වේගයෙන් ඉහලට ඇදී යන්නට විය.

ඉහලට යන සරුංගලය දෙස බලා කුඩා ළමුන් සේ අප දෙදෙන ප්‍රීතියෙන් ඉපිලිනෙමු.
ඉහලට ඇදෙන සරුංගලයට තව තවත් නූල් දුන්නේ එයට නිදහසේ තවත් ඉහලට ඇදී යන්නටය.

නූල් පන්දුවේ කෙලවරට නූල ගැට ගසා ඇතැයි අප සිතා සිටියත් එය එසේ නොවුනු බැවින් අනපේක්ෂිතවම නූල පන්දුවෙන් ගිලිහී ගියේ නූල අල්ලා ගැනීමටවත් කාලයක් ඉතිරි නොකරය.

අප දෙදෙනා බලා සිටියදීම සරුංගලය අහසේ ඈතින් ඈතට ගොස් ගාලු නඟරය දෙසට පහත් වෙනවා දුටිමු.

ක්ෂණයකින් හට ගත් ප්‍රීතිය හා බලාපොරොත්තුව ඒ ක්ෂණයෙන්ම නැතිවී යාම හේතුවෙන් අප දෙදෙනා තුල හට ගත්තේ ශෝකයකි. ටික දිනක් යන තුරුම අප සිත් තුල මේ ශෝකය පැවතින.

ඉතාම සරලවූ මේ සිද්ධිය ජීවිතයට වටිනා පාඩමක් කියා දෙන බව මා හට පසු කලෙක වැටහින.

අපගේ ආශාවන් හා බලාපොරොත්තු අහස උසට නඟින්නේ අපටත් නොදැනීමය.

ඇතැම්විට ඒවා බිඳී යන්නේද අප නොසිතනා විටෙකදීය.

ආශාවන්ද බලාපොරොත්තුද ගොඩනැඟෙනා උසෙහි තරමටම එවා බිඳී යන විට දැනෙනා දුකෙහි තරමද වැඩි විය හැකිය.

යතාර්ථය එයම වුවත් මිනිසුන් මෙතරම් ආශාවන් හා බලපොරොත්තු හා බැඳීම් පසුපස හඹා යන්නේ, තාවකාලික වුවත් ඉන් සිතට ලැබෙන්නාවූ වින්දනයත්, මිහිර හෝ සතුටත් නිසාවෙනි.

එසේ නම්, මෙලොව දුක සත්‍යයක් වන තරමටම, තාවකාලික වන සතුටද සත්‍යයක් නොවන්නේද ?

අහිමි වීම් තුල දුක්ඛ සත්‍යය තේරුම් ගන්නට වෙහෙසෙනවා වෙනුවට, මිහිරිවූ සතුටෙහි තාවකාලිකත්වය තේරුම් ගතහොත්.........................,

සතුටෙහි නිමාව දුකක් ගෙන නොඑනු ඇත !

සතුට තාවකාලික වන බැවින් එය නිමා වන්නේය.
මන්ද, එය එසේ විය යුතුය.

නමුත්, මේ ලොවේ එක් සතුටක් අවසන, සතුටු වියහැකි තවත් බොහෝ දේ හට ගනු හෝ තිබෙනු ඇත.

බොහෝ විට ඒවා නොපෙනෙන්නේද, ඒවායෙහි මිහිර අත් නොවිඳින්නේද, සතුටෙහි තාවකාලිකත්වය තේරුම් නොගෙන, එක් සතුටක නිමාවෙහිවූ දුකක එල්බගෙන සිටීම නිසාවෙනි.

සතුට තාවකාලිකය.
එය තේරුම් ගත් කල සතුටෙහි නිමාව සිතට ගෙනෙන්නේ දුකක් වෙනුවට එම සතුට තුල අත්වින්දාවූ මිහිරියාව පිළිබඳ සුන්දර මතකයක්ම පමණකි.

එවිට සතුටෙහි නිමාව දුකක් නොවනු ඇත.

ඒ මට හිතෙන හැටිය.

Sunday, August 9, 2009

යෝගට් කෝප්ප

දිනය: අගෝස්තු 09, වසර 2009,
ඉරිදා දිනයක්

සිත් දින පොතෙන් බ්ලොග් දින පොතට - සටහන් අංක 4


යෝගට් කෝප්ප.............

අද ඉරිදා දිනයක් වූ බැවින් මා ලද විවේකයෙන් ඇවිදින්නට යාමට සිතුවෙමි.
මෙවන් විවේකයක් ලද බොහෝවිට මා ඇවිදින්නට යන්නේ විශ්ව විද්‍යාලය (පේරාදෙණිය) වෙතය.
පළමුව ක්‍රීඩාංගනය වෙත ගොස් එතැන ටික මොහොතක් රැඳී හිඳ ආසන්නයේ වූ කිරිහල වෙත ගියේ යෝගට් එකක් කෑමටය.

එම කිරිහල ඉදිරිපිට දර්ශනීය වෘක්ෂයක් ඇති අතර එහි අතු ඉතා පහතින් පිහිටා ඇත.

මේ ගස යට පවතින දැඩි සෙවනත් සිසිලත් නිසා බොහෝ දෙනා විවේකය පිණිස මෙතැනට පැමිනෙති. එමෙන්ම මේ ඉදිරිපිට ඇති බස් නැවතුමේ සිටින බොහෝ දෙනා ද බසයක් එන තුරු රැඳී සිටින්නේ මේ ගස් සෙවනේය.

බොහෝ දෙනෙකුට තරාතිරම නොබලා ගතට මෙන්ම හිතටද සිසිලක් ගෙනදෙන මේ වෘක්ෂය ආශ්‍රිත කුඩා පරිසරයට ඉන් ප්‍රයෝජන ගන්නාවූ ඇතමුන් සලකා ඇති අන්දම එතැනට ගිය මට දැක ගත හැකි විය.

තැන තැන වූයේ විසිකර දමා තිබූනු හිස් යෝගට් කෝප්ප හා සිලි සිලි මලුය.
එසේ කර ඇත්තේ ආසන්නයේම කසල බඳුනක් තියෙද්දීම ය.
මෙතරම් වූ සුන්දර පරිසරයක් තමන් විසින් අපවිත්‍ර කරනවා යයි මේවා විසිකරන විට ඔවුන්ට නොසිතෙනවා විය හැකිද?

සුන්දරත්වය පසෙකින් තබමු.

ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කරන්නැයි උදේ හවස කියද්දීත්, ලංකාවේ වැඩිම ඩෙංගු මරණ මහනුවර ප්‍රදේශයෙන් වාර්තා වෙද්දීත් තමන් හෝ තම හිතවතුන් නැවත මෙතැනට පැමිණෙන විට මරණයට මඟ සලසන්නට තරම් මොවුන් කුරිරුද, එසේත් නැත්නම් මෝඩද, නැත්නම් පුරුද්දද යන්න ගැටලුවකි.

මා කල දෙයක් නොවුනත්, මගේ රාජකාරියක් නොවුනත්, මගේ යුතුකමක් ලෙස සලකා ගස යට විසිරී තිබූ කසල සියල්ල එකතුකර අසල වූ කසල බඳුනට දැමීමි.

මෙතරම් වූ අලංකාර මේ ගසේ පහත ඇති අතු සියල්ලේම බොහෝ නම් ගම් දුරකථන අංක, ආදර වැකි කොටා ඇත. ඒ මෙම ගසට (අනා) ආදරය දක්වන්නවුන්ගේ සමරු සටහන්‍ ය. ඔවුන්ගේ නම් ගම් සහිතව ඔවුන් මේ බව ලොවට කියා පාති.

මේ සමඟම කිව යුතු තවත් කරුණක් ඇත. බොහෝ නිවාඩු දිනවල, උද්භිද උද්‍යානය නැරඹීමට පැමිණෙන ඇතැමුන් තම වාහන නවත්වන්නේ විශ්ව විද්‍යාල භූමිය තුලින් වැටී ඇති ගලහා මාර්ගය දෙපස අලංකාරව වවා ඇති තණ පිට්ටනි මතය.
එසේත් නැතිනම් මඟීන් සඳහා තනා ඇති කොන්ක්‍රීට් ස්ලැබ් මතය.

ඔවුන් කාබී, සතුටු වී, විවේක ගෙන එතැනින් පිටමංවන විට එතැන්හි ඉතිරි වන්නේ බත් ඉඳුල්, සිලිකොල, පත්තර කැබලි, හිස් ප්ලාස්ටික් බෝතල් හා පොඩිවුනු තණකොල හෝ කැඩී ගිය කොන්ක්‍රීට් ස්ලැබ්ය.

කලකට ඉහතදී නම් මෙවන් දේ සිදුවීම වැලැක්වූයේ විශ්ව විද්‍යාල ආරක්ෂක අංශයට පෙර සිසුන්‍ ය.

ඒ ඔවුන් එය තමන්ගේම ගෙවත්තයයි සැලකූ නිසාවෙන් පමණක් නොව එවන් දෙයකට ඉදිරිපත් වුවන්ට තමන් ගේ ආරක්ෂාව සම්බන්ධයෙන්ද එතරම් ගැටලුවක් නොතිබූ නිසාවෙනි.

නමුත් කාලයත් සමඟ සියල්ල වෙනස්ව ඇත.

දැන් විශ්ව විද්‍යාල සිසුන්ගෙන් බොහොමයකට විශ්ව විද්‍යාලය තමන්ගේම යැයි නොහැඟෙනවා වන්නට පුලුවන.

තමන්ගේය යන හැඟීමක් ඇත්තවුන්ද නිහඩව සිටින්නේ ඔවුන්ට ගලහා හන්දියෙන් එපිට (විශ්ව විද්‍යාලයෙන් එපිට) සුරක්ෂිත බවක් නොදැනෙන සමාජයක් බිහිව ඇති නිසාවෙන් වන්නට පුලුවන.

කවුරුත් තම අත පයටත් ජීවිතයටත් ආදරය වෙති.

මා දන්නා තරමින් වැසිකිළිය තියෙද්දී කිසිවෙකුත් තම මිදුලේ මලපහ නොකරයි.
එමෙන්ම, වෙනකෙකු තම මිදුලේ මලපහ කරනවාටද කැමති නොවනවා ඇත.
තම මිදුලේ ඇති ගසේ හෝ සාලයේ බිත්තියේ හෝ කුරුටු බලි අඳින්නේද නැත.

එවන් දේට අකමැති අපේ මිනිසුන් මෙවන් ක්‍රියා කරන්නේ මොන සිතකින්දැයි මට නොතේරේ.

ඒ මට හිතෙන හැටිය.

Saturday, August 8, 2009

දරු සෙනෙහස

දිනය: අගෝස්තු 08, වසර 2009, සෙනසුරාදා දිනයක්

සිත් දින පොතෙන් බ්ලොග් දින පොතට - සටහන් අංක 3

දරු සෙනෙහස.............................

නූපන් වුවත් තම කුසයේ හිඳින දරුවා කෙරේ මවකගේ සිත තුල උපදින්නේ අපරිමිත ස්නේහයකි.
උපන්ගෙයිම දරුවෙකුගේ වියෝව මවට එතරම්ම වේදනාකාරී වන්නේ එබැවිනි.

තම ගර්භනී සමයේ අවසන් භාගයෙහි හුන් මවක් තම දරුවා දැඟලීම අඩු බැවින් රෝහල් ගත වූවාය.
මූලික වෛද්‍ය පරීක්ෂණයෙන් අනතුරුව හදිසි සිසේරියන් ශල්‍යකර්මයක් සිදු කිරීමට තීරණය විය.

එහි නිර්වින්දන වෛද්‍යවරයා වූයේ මමය.

සියල්ල කඩිනමින් සිදු කල යුතුව ඇත.
සියලු කාර්‍යය මණ්ඩලය ඒ සඳහා යුහුසුලු විය.
ඒ මරණයේ දොරකඩට වී සිටින නූපන් දරුවාට ජීවනයට පාර කියා දෙන්නටය.

එක් අයෙකුට හැර ශල්‍යාගාරයේ සිටි අනෙක් සියල්ලන්ටම කාලය ගමන් ගනු දැනුනේ විදුලි වේගයෙනි.

කාලය නැවතී තිබුණේ මවගේය.
කාලය පමණක් නොව මුලු ලොවම නතර වූ සෙයක් ඇගේ මුහුනින් දිස් විය.

බලාපොරොත්තුව හා එය සුන්වේයැයි යන චකිතයද, සතුට හා දුකද, හුදකලා බව හා අසරණ බවද යන වදනින් නොකී සිතුවිලි සමූහය ඇගේ ඉරියව් කියා පාන්නට විය.

ඉතා කෙටි කලක් තුල දරුවා සැත්කමින් ඉවතට ගනු ලැබිණ.
සියලු ප්‍රතිකාර, ප්‍රතිකර්ම කෙරුනද ඒවන විටත් ඔහු මරණයේ දොරින් ඇතුල්වී නැවත නොඑන්නට බොහෝ දුර ගොසිනි.

අම්මේ... ,මා එලෙස ඇයව ඇමතුවේ සිදුව ඇති දේ පවසන්නටය.

මහත්තයෝ මගේ දරුවා නැති වෙලා නේද?..

ඇය එසේ අසන ලද්දේ ඇගේ සිතෙහි වූ සැකය දුරු කරගනු වස් නොව සිදුව ඇති දේ ඇය මේ වන විටත් වටහා ගෙන ඇති බව මා හට ඇඟවීමට බව ඇගේ මුහුණේ ඉරියව් කියා පෑවාය.

බොහෝ දෙනා ඇය අස්වසාලනුවස් බොහෝ දේ කීහ.එහෙත් ඇය කිසිවක් නොකීවාය.

ඇගේ දෙනෙතින් වැටුනු කඳුලු බිඳුවක් මගේ අතට වැටින.
මගේ අත පිලිස්සෙන තරම් උනුසුමක් හා එහි මහා බරක් මට දැනින.

ඒ ගලන්නේ,වදනින් නොකී ඇගේ හිතේ උපන් මහා ගින්නත්,තනිව දැරිය නොහැකිව කඩා වැටෙන හිතේ උපන් මහා බරත්, බව මට සිතුනි.

ඒ මට හිතෙන හැටිය.