Monday, August 24, 2009

සරුංගලේ

දිනය: අගෝස්තු 24, වසර 2009
සඳුදා දිනයක්,

සිත් දින පොතෙන් බ්ලොග් දින පොතට - සටහන් අංක 05

සරුංගලේ......................................

මටත් බිරිඳටත් සීමාවාසික වෛද්‍ය පත්වීම ලැබුනේ ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහල වෙතය.

ඉතාම කාර්‍යබහුල හා අවිවේකි කාල සීමාවක් වූ එකල විවේකයක් ලැබුනේ කලාතුරකින්ය.

කලාතුරකින් හෝ ලැබෙන එවන්වූ විවේකයකදී අප බොහෝ විට යන්නට යෙදුනේ ගාලු කොටුව වෙතය.

එහි ගිය එක්තරා සවස් වරුවක, එතැන සරුංගල් වෙළෙන්දන් කිහිප දෙනෙකු සිටිය අතර ඔවුන් චීනයෙන් ආනයනය කරන ලද විචිත්‍ර වූ, විවිධ ප්‍රමාණයෙහි හා විවිධ සතුන් හා හැඩතලයන්ගෙන් යුතු වූ සරුංගල් විකුණමින් සිටියහ.
නූල් පන්දුව සමඟ සරුංගලය රුපියල් සියයේ සිට ඉහලට විවිධ මිල ගනන් වලට විකිණින.

එදින ගාලු කොටුවේ බොහෝ සෙනඟක් සිටි දිනයක් විය.

බාල, තරුණ, මහලු බොහෝ දෙනා සරුංගල් මිලට ගෙන සරුංගල් අරිමින් සිටියහ.
එහි සිටි බොහෝ දෙනෙකු මෙන්ම අපද සරුංගල් යැවීමට තීරණය කලෙමු.

සරුංගලයක් මිලට ගත් අප එය යැවීමට සුදුසු ස්ථානයකට ගියෙමු.
තරමක් සෙනඟ අඩු ස්ථානයකට ගිය අප දෙදෙනා සරුංගලය යැවීමට සැරසුනෙමු.

සරුංගලය අතැතිව බිරිඳ ඈතින් සිට ගත් අතර මා නූල් පන්දුව අතට ගතිමි.
හොඳින් හමන මුහුදු සුලං රැල්ලත් සමඟ සරුංගලය කෙමෙන් අහසට නැඟ ඉන්පසු වේගයෙන් ඉහලට ඇදී යන්නට විය.

ඉහලට යන සරුංගලය දෙස බලා කුඩා ළමුන් සේ අප දෙදෙන ප්‍රීතියෙන් ඉපිලිනෙමු.
ඉහලට ඇදෙන සරුංගලයට තව තවත් නූල් දුන්නේ එයට නිදහසේ තවත් ඉහලට ඇදී යන්නටය.

නූල් පන්දුවේ කෙලවරට නූල ගැට ගසා ඇතැයි අප සිතා සිටියත් එය එසේ නොවුනු බැවින් අනපේක්ෂිතවම නූල පන්දුවෙන් ගිලිහී ගියේ නූල අල්ලා ගැනීමටවත් කාලයක් ඉතිරි නොකරය.

අප දෙදෙනා බලා සිටියදීම සරුංගලය අහසේ ඈතින් ඈතට ගොස් ගාලු නඟරය දෙසට පහත් වෙනවා දුටිමු.

ක්ෂණයකින් හට ගත් ප්‍රීතිය හා බලාපොරොත්තුව ඒ ක්ෂණයෙන්ම නැතිවී යාම හේතුවෙන් අප දෙදෙනා තුල හට ගත්තේ ශෝකයකි. ටික දිනක් යන තුරුම අප සිත් තුල මේ ශෝකය පැවතින.

ඉතාම සරලවූ මේ සිද්ධිය ජීවිතයට වටිනා පාඩමක් කියා දෙන බව මා හට පසු කලෙක වැටහින.

අපගේ ආශාවන් හා බලාපොරොත්තු අහස උසට නඟින්නේ අපටත් නොදැනීමය.

ඇතැම්විට ඒවා බිඳී යන්නේද අප නොසිතනා විටෙකදීය.

ආශාවන්ද බලාපොරොත්තුද ගොඩනැඟෙනා උසෙහි තරමටම එවා බිඳී යන විට දැනෙනා දුකෙහි තරමද වැඩි විය හැකිය.

යතාර්ථය එයම වුවත් මිනිසුන් මෙතරම් ආශාවන් හා බලපොරොත්තු හා බැඳීම් පසුපස හඹා යන්නේ, තාවකාලික වුවත් ඉන් සිතට ලැබෙන්නාවූ වින්දනයත්, මිහිර හෝ සතුටත් නිසාවෙනි.

එසේ නම්, මෙලොව දුක සත්‍යයක් වන තරමටම, තාවකාලික වන සතුටද සත්‍යයක් නොවන්නේද ?

අහිමි වීම් තුල දුක්ඛ සත්‍යය තේරුම් ගන්නට වෙහෙසෙනවා වෙනුවට, මිහිරිවූ සතුටෙහි තාවකාලිකත්වය තේරුම් ගතහොත්.........................,

සතුටෙහි නිමාව දුකක් ගෙන නොඑනු ඇත !

සතුට තාවකාලික වන බැවින් එය නිමා වන්නේය.
මන්ද, එය එසේ විය යුතුය.

නමුත්, මේ ලොවේ එක් සතුටක් අවසන, සතුටු වියහැකි තවත් බොහෝ දේ හට ගනු හෝ තිබෙනු ඇත.

බොහෝ විට ඒවා නොපෙනෙන්නේද, ඒවායෙහි මිහිර අත් නොවිඳින්නේද, සතුටෙහි තාවකාලිකත්වය තේරුම් නොගෙන, එක් සතුටක නිමාවෙහිවූ දුකක එල්බගෙන සිටීම නිසාවෙනි.

සතුට තාවකාලිකය.
එය තේරුම් ගත් කල සතුටෙහි නිමාව සිතට ගෙනෙන්නේ දුකක් වෙනුවට එම සතුට තුල අත්වින්දාවූ මිහිරියාව පිළිබඳ සුන්දර මතකයක්ම පමණකි.

එවිට සතුටෙහි නිමාව දුකක් නොවනු ඇත.

ඒ මට හිතෙන හැටිය.

No comments:

Post a Comment