Monday, August 31, 2009

විවාහය

දිනය: අගෝස්තු 31,වසර 2009,සඳුදා දිනයක්

සිත් දින පොතෙන් බ්ලොග් දින පොතට සටහන් අංක 08

විවාහය....................

කිසියම් හේතුවක් පදනම් කරගෙන දෙදෙනෙකු අතර ඇතිවන ආකර්ශනය නිසාවෙන් ලංවීමක් සිදුවේ.
ලංවීම හේතුවෙන් බැඳීමක් ඇතිවන අතර, ඉන් ආදරයක් හට ගනී.

එලෙස හට ගත්තාවූ ආදරයේ පැවැත්ම නීතියෙන් සහතික කරගනුවස් විවාහයක් සිදුකර ගනී.

විවාහයකදී පුද්ගලයන් දෙදෙනෙකු එකට වාසය කිරීමට නීතිමය බැඳීමක් ඇති කර ගනී.
නීතියෙන් ඇතිකල බැඳීම මනැසින්ද ඇතිවීමට නම් සපුරාලිය යුතු බොහෝ කාරණා තිබේ.

ආදරය යනු කුමක්ද ? ,
ආදරයේ පැවැත්ම තීරණය වන්නේ කුමකින්ද ? ,
විවාහික බැඳීමක ආදරයක් පැවතිය යුතුමද ?.

මේවාට විවිධවූ සංකීර්ණ උත්තර හා හේතු පැහැදීම් බොහෝ දෙනා දෙනු ඇත.

සමාජයේ බොහෝ පතල, ආදරයේ සංකේත බඳු වූ ඇතැම් පෙම්වතුන්ගේ විවාහ එතරම් දුර දිග නොගොස් කඩාකප්පල් වන අතර, එසේ නොවුනු පෙම්වතුන්ගේ හා යෝජිතව ඇති කර ගත් බැඳීම් මත සිදුවන ඇතැම් විවාහයන් සාර්ථකව ඉදිරියට යනු දැකිය හැක.

එසේනම් විවාහයක පැවැත්මට සාම්ප්‍රදායිකව අර්ථ දක්වන ආදරයට ඔබ්බෙන්වූ සාධකයක් බලපාන්නේද?

මෙලොව උපදින දෙදෙනෙක්, කිසිම විටෙක, ගතිගුණ, අවශ්‍යතාවන් හා දෘෂ්ඪීන්ගෙන් එක හා සමාන වන්නේ නැත.

එය යතාර්ථයකි.

බොහෝ විට සිදුවන්නේ, ආදරය හේතුවෙන් දෙදෙනෙකු අතර පවතින මෙම අසමානතාවය යන යතාර්ථය පිළිබඳ අවබෝධය, දෙදෙනා තුලින් ගිලිහී යාමය.

එනම් දෙදෙනා දෙදෙනෙකු නොව එක් අයෙකුම බව සිතන්නට පෙළඹීමය.

එවිට තමාගේ ආශාවන් හා අවශ්‍යතාවන් අනෙකාගේද ආශාවය , අවශ්‍යතාවයය, තමාගේ දෘෂ්ඪිය අනෙකාගේද දෘෂ්ඪියය මය යන මිථ්‍යාව තුල දෙදෙනාම එල්බ ගනී.

යතාර්ථයේදී එය එසේ නොවන බැවින්, ගැටුමේ ආරම්භය එතැනින්ම සනිටුහන් වෙයි.

ඉතින් ගැටුම සංසිඳෙන්නේ හෝ ගැටුමක් පැන නොනඟින්නේ, ගතිගුණවලින්ද, අවශ්‍යතාවයන් හා ආශාවන්ගෙන්ද, දෘෂ්ඪීන්ගෙන්ද දෙදෙනා එක් අයෙකු නොව දෙදෙනෙකු බව අවබෝධ කරගත් විටය.

එවිට පුද්ගලයන් දෙදෙනෙකු එකිනෙකාගේ පුද්ගලබාවයට ගරු කරමින් යන එකඟතාවයේ ගමන ඇරඹේ.

එය යතාර්ථතයට සමීප බැවින්, එවන්වූ සබඳතාවයක පැවැත්ම හා බැඳීම ශක්තිමත් ය.

එවන්වූ සබඳතාවක් තුල දෙදෙනාම තම පුද්ගලබාවයේ නිදහස භුක්ති විඳින අතර එහිදී එකිනෙකා කෙරෙහි ඇති වන්නේ අපමණ ගෞරවයකි.

එම ගෞරවය තුල එකිනෙකා තම පුද්ගලබාවය කැප කරමින් අනෙකාගේ පුද්ගලබාවයේ නිදහසට ඉඩ දෙන්නට තරම්වූ නිහතමානීත්වයක් ඇතිකර ගනී.

මෙවන් වූ බැඳීමක් ගැන කියැවෙන, රඹුකන සිද්ධාර්ථ හිමි විසින් රචනා කල ගීයක් කරුණාරත්න දිවුල්ගනේ ගායනා කරයි. එහි සංගීතය එච්.එම් ජයවර්ධන ගේය.

ගීතයේ වදන් වල අර්ථය හා හැඟීම මතු කරලීමට මෙම දක්ෂ ගායකයාගේ හා සංගීතඥයාගේ දායකත්වය කෙතරම් ඉවහල් වී ඇත්ද යන්න මේ ගීතය ශ්‍රවණයේදී ඇතිවන හැඟීමෙන් මොනවට පැහැදිලිවේ.


ලා දලු බෝපත් සෙමින් සැලෙනසේ යසෝදරාදේවී
වාවනු බැරි තැන රහසේ හැඬුවා පෙර සංසාරේ ඇසුර මතක්වී........

ලේන කුලේ සිට ආගිය මඟ තොට සිටියා නොසැලෙන පහන් ටැඹක් වී
නිවන් දකින තුරු මේ සංසාරේ පසුපස ආවා සෙවනැල්ලක් වී.........

තැලී සෙනේ සිත සැලී හඬන විට වැටී දෙපා ලඟ යසෝදරාවෝ
පිපී නිවන් මල් සාදුකාර දී නිවී පහන් විය උදෑසනක් සේ.............

තම අරමුණ ඉටු කරගනු වස්, දීර්ඝ වූ සංසාරයේ තමන් හා බැඳී, නොසැලෙමින් තමා සොයා යන මාර්ගයට එලියක් වෙමින් ආ ප්‍රියාවියව, හැර යද්දී, තමන්ට පෑ ස්නේහය හා බැඳීම හේතුවෙන් ඇගේ සිත රිදී හඬා වැටෙයි.

ඇය වියෝ දුකින් හඬා වැටුනත්, ඇගේ ඒ වේදනාව හෝ හැඬුමවත් ඔහුගේ අරමුණ ඉටු කර ගන්නට බාධාවක් වන්නට ඇය ඉඩ නොතබන්නීය.

එසේ හෙයින්ම, ඔහු තම අරමුණ සාක්ෂාත් කර ගන්නේය.

එය හරියට, තම අරමුණ ඉටු කරගන්නාතුරු තමන්ට පිට දෙන්නට ඉඩ දෙමින්, තමන්ට සෙවන සැලසූ බෝ රුකෙහි ලා දලු වන්වූ බෝපත් තම චිත්ත ඒකාග්‍රතාව නොබිඳිමින්ම සුළඟට සැලෙන්නා වාගේය.

මෙවන්වූ බැඳීම් ඇති විවාහයන් කෙසේ නම් දෙදරයිද?

එවන්වූ බැඳීමක් සහිත විවාහයන් කෙතරම් ප්‍රීතිජනකද?.......

ඒ මට හිතෙන හැටිය.

Saturday, August 29, 2009

වවුල් ප්‍රේමය

දිනය: අගෝස්තු 29, වසර 2009, සෙනසුරාදා දිනයක්

සිත් දින පොතෙන් බ්ලොග් දින පොතට - සටහන් අංක 07

වවුල් ප්‍රේමය.................................

නව යොවුන් වියට එලැඹීමත් සමඟ තරුණ තරුණියන් අතර ඇති වන ආකර්ශනයට හේතුව, ඒ හා සමඟ ඔවුන්ගේ ශරීර තුල සිදුවන ජෛව විද්‍යාත්මක වෙනස්කම් ය.

මෙම ආකර්ශනය හේතුවෙන් එකිනෙකා අතර ඇතිවන බැඳීම් හා සම්බන්ධතාවල ප්‍රකාශනය තීරණය වන්නේ, ඔවුන් සිටින්නාවූ සමාජ හා සංස්කෘතික වටපිටාව මතය.

සමාජයද, සංස්කෘතියද කෙතරම් සීමා මායිම් හා වැට කඩොලු දැම්මද
එක්තරා සීමාවක් අභිබවා මෙම ප්‍රකාශනය සීමා කල නොහැක්කේ, බඩගින්න සේම මෙයද ජෛවීය අවශ්‍යතාවයක් බැවිනි.

බොහෝ විට ඉහල සමාජ පැලැන්තියට මෙම සීමා මායිම බලපැවැත්වෙන්නේ අල්ප වශයෙනි.

එනිසා, සරලව කිව්වොත් ඔවුන්ට පෙම් කරන්නට එතරම් බාධාවක් නැත.

ඔවුන් යන්නේ එන්නේ වාහනයෙනි.
එහිදී ඔවුන්ගේ කතා බහට හා හැසිරීමට කිසිදු බාධාවක් නැත.
ඔවුනට හමුවන්නට, දොඩමලු වන්නට සුපිරි හෝටල්ද, ඒවායේ අලංකාර උද්‍යානද ඇත.
අවශ්‍යනම් එවැන්නකින් කාමරයක් වුවද ලබාගත හැක.
පොලීසියෙන් හෝ සමාජයෙන් හෝ එබිකම් කරන්නවුන්ගෙන් හෝ ඔවුන්ට කිසිදු බාධාවක් නොමැත.
නිදහසේ ඔවුන්ට පෙම් කල හැක.

මා දන්නා තරමින්, ඉහල සමාජ පන්තියට අයත් නොවුනත් එතරම් බාධාවක් නැතිව පෙම් කරන අනෙක් කණ්ඩායම වන්නේ විශ්ව විද්‍යාල පෙම්වතුන් හා පෙම්වතියන්ය.
ඒ, විශ්වවිද්‍යාල උප සංස්කෘතිය තුල, ඒ සඳහා ඇති අවකාශය හා සුරක්ෂිත පිළිගැනීම නිසාය.

එහෙත් ප්‍රශ්නය ඇත්තේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් නොවන හා ඉහල සමාජ පන්තියට අයත් නොවන, පෙම්වතුන් හා පෙම්වතියන්ටය.

ඔවුන්ගේ වාහනය බස් රථය ය.
එහිදී, සියල්ලන්ගේම දෑස් ඔවුන් වෙත යොමු වෙයි.
ඒ, ඔවුනට තමන් වට කරමින්, එහි ටින්ට් ආවරන නොමැති නිසාය.
තම කතාබහ, අනුනනට ඇසේවිදෝය යන බිය නිසා, ඔවුන් රහසේ කොඳුරති.

හමුවන්නට, දොඩමලු වන්නට හෝ මොහොතක් තනිවෙන්නට ඔවුනට උද්‍යානයක් හෝ නිදහස් හා සුරක්ෂිත තැනක් නැත.
ඇත්තේ පොදු උද්‍යාන හෝ උද්භිද උද්‍යානයන් ය.
නැතිනම් චිත්‍රපටි ශාලාය.
මේවායෙහි ඔවුන්ට සියල්ලන්ගෙන්ම බාධා ඇතිවේ.

ආරක්ෂක නිලධාරීන් හෝ පොලීසිය ඔවුන් එලවති.
නැතිනම් අත් අඩංගුවට ගනිති.
එබිකම් කරන්නෝද ඇති පදම එබිකම් කරති.
ඒ සියල්ල මැද ඔවුන්ද පෙම් කරති.

මේ ගැන මට ලියන්නට සිත් වූයේ පසුගිය දිනෙක මා පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය වෙත ගිය විටෙක දුටු දෙයක් නිසාය.

උද්‍යානයේ ඇති සෑම ගසක් පාසාම වාගේ පෙම්වතුන් ජෝඩුය.

වරින් වර ආරක්ෂක නිළධාරීන් නඟන විසිල් නාදයත් ඔවුන්ගේ ගෝරනාඩුවත් ඇසෙයි.

එවිට මේ ජෝඩු සියල්ලන්ම තමන් සිටි ගස් අත හැර වෙනත් ගස් සමූහයක් කරා ඇදෙති.

මෙම සිදුවීම වරින් වර සිදුවන බැවින් නැවතත් ඔවුනට, තමන් මුලින් සිටි ගසටම හෝ ඊට ආසන්න ගසකට පැමිණෙන්නට සිදුවිය හැක.

උද්භිද උද්‍යානය පුරා ඇති විශාල ගස් වල වවුලන් රාශියක් වසා සිටිති.
ඔවුන් වරින් වර තමන් සිටින අත්ත අතහැර වෙනත් අත්තක වසති.

එය දුටු මට සිතුනේ මෙහි සිටින පෙම්වතුන්ද මේ වවුලන් වාගේය කියාය.

ඔවුනට එසේ වී ඇත්තේ, ඔවුන්ගේ උවමනාවකට නම් නොව මේ සමාජයේද, උත්තරීතර සංස්කෘතියේද උවමනාව නිසාය.

ඒ මට හිතෙන හැටිය.

ජයග්‍රහණය හා බැඳි ශෝකය

දිනය: අගෝස්තු28, වසර 2009,සිකුරාදා දිනයක්

සිත් දින පොතෙන් බ්ලොග් දින පොතට-සටහන් අංක 6

ජයග්‍රහණය හා බැඳි ශෝකය.....................................

ජයග්‍රහණයක් හා සබැඳිව ඇත්තේ සතුටයි.

එහෙත් ජයග්‍රහණය යුද්ධයකින් නම්, සතුට හා අත්වැල් ගත් දුකක්ද ඒ හා බැඳී ඇත.

ඒ යුද්ධය අපට බොහෝ දේ දිනා දෙන අතරම බොහෝ දේ අපට අහිමි කරන බැවිනි.

දශක තුනක් තිස්සේ ඇදුනු යුද්ධයේ ජයග්‍රාහී නිමාව තවමත් අප සමරමින් සිටිමු.
ඒ අපි කාට කාටත් යුද්ධයේ විපාක යම් පමනකින් හෝ දැනී තිබුණු බැවින්, එහි නිමාව අප කාගේත් සිත් තුල සතුටක් ඇති කරන නිසාවෙනි.

එහෙත්....මේ සතුට තුල අපට අමතකව යන්නේ,ඒ හා බැඳුනු දුක හා ශෝකය ය.

එහෙත්....ඒ දුක අමතකව නොයන හා එහි පීඩාව ජීවිතය පුරාම විඳිමින් ගත කරන පිරිසක් අප අතරම සිටියි.

ඒ යුද්ධයට මැදිවූ හා එහි සෘජු විපාකයන්ට ලක්වූ අහිංසක සිංහල හා දෙමළ ජනයා සහ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් සටන් වැද ආබාධිත වූ හමුදා සෙබලුන් හා එල්.ටී.ටී.ඊ සාමාජිකයන්‍ ය.

ඔවුන් තම ඉදිරි ජීවිත කාලයම ඒ වේදනාව තුරුලු කර ජීවිතය ගෙවනු ඇත.

පසුගිය යුධ සමයේ,යුද්ධයෙන් තුවාල ලත් සෙබලුන් හා සිවිල් වැසියන් ප්‍රතිකාර සඳහා අප රෝහලටද ඇතුලත් කරන ලදී.

බහුතරයකට තම අත්පා ආශ්‍රිතව තුවාල සිදුව තිබූ අතර ඇතැමෙකුට ඒ හේතුවෙන් තම අත් හෝ පාද හෝ අහිමි විය.
ඇතැමෙක් එම තුවාල වල සංකූලතා හේතුවෙන් තම ජීවිත වලින් වන්දි ගෙවීය.

බොහෝ සෙබලුන් තම තුවාල වල වේදනාව හා ඒ හේතුවෙන්ම සිදුවූ එක්තැන් වීමෙන් සිදුවූ අසරණ භාවය ඉවසා දරා ගත්තේ, තමන් ඒ පරිත්‍යාගය කලේ යම් අරමුණක් උදෙසා බැවින් ය, යන ආකල්පය හා එම අරමුණ පාවා දීමකින් තොරව සෙස්සන් දිනා දේවී යන බලාපොරොත්තුවත් නිසාවෙනි.

ඒනිසාම යුද්ධයේ ජයග්‍රහණය ඔවුන්ට සතුට ඉක්මවූ ධෛර්‍යයක් වනු ඇත.
ඒ ධෛර්‍යය තාරුණ්‍යයේ සිටින ඔවුන්ට,ඔවුන්ගේ දීර්ඝ වූ ඉදිරි ජීවිතය ගෙවා දමන්නට ශක්තියක් වන්නේය.

යුද්ධයට මැදිවූ හා එහි සෘජු විපාකයන්ට ගොදුරු වූ මෙම හමුදා සාමාජිකයන් හා සිවිල් වැසියන් හට යුද්ධයේ නිමාව සතුටක් ගෙන දුන්නද, යුද්ධය ඔවුන්ට උරුම කරමින් ඉතිරිකර ගිය ඛේදනීයත්වය,ඉදිරි ජීවිතය පුරාවට ගෙන දෙනු ඇත්තේ ශෝකයකි.

යුධ ජයග්‍රහණයෙන් උද්දාමවී ජය පැන් බොමින්,ජය ඝෝෂා නඟමින්, හැසිරෙන්නවුන් බොහොමයකට,ඔවුන්ගේ සතුටට මූල හේතුව වූ යුද්ධය විසින් උරුම කර දුන් ශෝකය අත් විඳිමින් ජීවිතය ගෙවන ඉහත පිරිස ගැන කිසිදු හැඟීමක් නැත.

විරු ගීත වලටවත්,උත්සව වලටවත්,ජය ඝෝෂාවටවත් ඔවුන්ගේ හිතේ උපන් ගින්න,ශෝකය මැකිය හැකි නොවනු ඇත.

අහිමිවූ සියල්ල ලබා දිය නොහැක.

එහෙත්, වගකීමක් ඇති පුරවැසියන් ලෙස, අප එකිනෙකාගේ ශක්තියේ,තරාතිරමේ හැටියට, මේ පිරිසට ලැබෙන ඕනෑම විටෙක පිහිටක් උපකාරයක් වීම හා සුහදත්වයක් දැක්වීම කල යුතුව ඇත.

එවිට ඔවුන් හට “අපි වෙනුවෙන් අප” පමණක් නොව සියලු ශ්‍රී ලාංකික සහෝදර ජනතාවම සිටින බව හැඟෙනු ඇත.

එයයි අප කල යුතුව ඇත්තේ, එයයි අපේ වගකීම විය යුත්තේ.

ඒ මට හිතෙන හැටිය.

Monday, August 24, 2009

සරුංගලේ

දිනය: අගෝස්තු 24, වසර 2009
සඳුදා දිනයක්,

සිත් දින පොතෙන් බ්ලොග් දින පොතට - සටහන් අංක 05

සරුංගලේ......................................

මටත් බිරිඳටත් සීමාවාසික වෛද්‍ය පත්වීම ලැබුනේ ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහල වෙතය.

ඉතාම කාර්‍යබහුල හා අවිවේකි කාල සීමාවක් වූ එකල විවේකයක් ලැබුනේ කලාතුරකින්ය.

කලාතුරකින් හෝ ලැබෙන එවන්වූ විවේකයකදී අප බොහෝ විට යන්නට යෙදුනේ ගාලු කොටුව වෙතය.

එහි ගිය එක්තරා සවස් වරුවක, එතැන සරුංගල් වෙළෙන්දන් කිහිප දෙනෙකු සිටිය අතර ඔවුන් චීනයෙන් ආනයනය කරන ලද විචිත්‍ර වූ, විවිධ ප්‍රමාණයෙහි හා විවිධ සතුන් හා හැඩතලයන්ගෙන් යුතු වූ සරුංගල් විකුණමින් සිටියහ.
නූල් පන්දුව සමඟ සරුංගලය රුපියල් සියයේ සිට ඉහලට විවිධ මිල ගනන් වලට විකිණින.

එදින ගාලු කොටුවේ බොහෝ සෙනඟක් සිටි දිනයක් විය.

බාල, තරුණ, මහලු බොහෝ දෙනා සරුංගල් මිලට ගෙන සරුංගල් අරිමින් සිටියහ.
එහි සිටි බොහෝ දෙනෙකු මෙන්ම අපද සරුංගල් යැවීමට තීරණය කලෙමු.

සරුංගලයක් මිලට ගත් අප එය යැවීමට සුදුසු ස්ථානයකට ගියෙමු.
තරමක් සෙනඟ අඩු ස්ථානයකට ගිය අප දෙදෙනා සරුංගලය යැවීමට සැරසුනෙමු.

සරුංගලය අතැතිව බිරිඳ ඈතින් සිට ගත් අතර මා නූල් පන්දුව අතට ගතිමි.
හොඳින් හමන මුහුදු සුලං රැල්ලත් සමඟ සරුංගලය කෙමෙන් අහසට නැඟ ඉන්පසු වේගයෙන් ඉහලට ඇදී යන්නට විය.

ඉහලට යන සරුංගලය දෙස බලා කුඩා ළමුන් සේ අප දෙදෙන ප්‍රීතියෙන් ඉපිලිනෙමු.
ඉහලට ඇදෙන සරුංගලයට තව තවත් නූල් දුන්නේ එයට නිදහසේ තවත් ඉහලට ඇදී යන්නටය.

නූල් පන්දුවේ කෙලවරට නූල ගැට ගසා ඇතැයි අප සිතා සිටියත් එය එසේ නොවුනු බැවින් අනපේක්ෂිතවම නූල පන්දුවෙන් ගිලිහී ගියේ නූල අල්ලා ගැනීමටවත් කාලයක් ඉතිරි නොකරය.

අප දෙදෙනා බලා සිටියදීම සරුංගලය අහසේ ඈතින් ඈතට ගොස් ගාලු නඟරය දෙසට පහත් වෙනවා දුටිමු.

ක්ෂණයකින් හට ගත් ප්‍රීතිය හා බලාපොරොත්තුව ඒ ක්ෂණයෙන්ම නැතිවී යාම හේතුවෙන් අප දෙදෙනා තුල හට ගත්තේ ශෝකයකි. ටික දිනක් යන තුරුම අප සිත් තුල මේ ශෝකය පැවතින.

ඉතාම සරලවූ මේ සිද්ධිය ජීවිතයට වටිනා පාඩමක් කියා දෙන බව මා හට පසු කලෙක වැටහින.

අපගේ ආශාවන් හා බලාපොරොත්තු අහස උසට නඟින්නේ අපටත් නොදැනීමය.

ඇතැම්විට ඒවා බිඳී යන්නේද අප නොසිතනා විටෙකදීය.

ආශාවන්ද බලාපොරොත්තුද ගොඩනැඟෙනා උසෙහි තරමටම එවා බිඳී යන විට දැනෙනා දුකෙහි තරමද වැඩි විය හැකිය.

යතාර්ථය එයම වුවත් මිනිසුන් මෙතරම් ආශාවන් හා බලපොරොත්තු හා බැඳීම් පසුපස හඹා යන්නේ, තාවකාලික වුවත් ඉන් සිතට ලැබෙන්නාවූ වින්දනයත්, මිහිර හෝ සතුටත් නිසාවෙනි.

එසේ නම්, මෙලොව දුක සත්‍යයක් වන තරමටම, තාවකාලික වන සතුටද සත්‍යයක් නොවන්නේද ?

අහිමි වීම් තුල දුක්ඛ සත්‍යය තේරුම් ගන්නට වෙහෙසෙනවා වෙනුවට, මිහිරිවූ සතුටෙහි තාවකාලිකත්වය තේරුම් ගතහොත්.........................,

සතුටෙහි නිමාව දුකක් ගෙන නොඑනු ඇත !

සතුට තාවකාලික වන බැවින් එය නිමා වන්නේය.
මන්ද, එය එසේ විය යුතුය.

නමුත්, මේ ලොවේ එක් සතුටක් අවසන, සතුටු වියහැකි තවත් බොහෝ දේ හට ගනු හෝ තිබෙනු ඇත.

බොහෝ විට ඒවා නොපෙනෙන්නේද, ඒවායෙහි මිහිර අත් නොවිඳින්නේද, සතුටෙහි තාවකාලිකත්වය තේරුම් නොගෙන, එක් සතුටක නිමාවෙහිවූ දුකක එල්බගෙන සිටීම නිසාවෙනි.

සතුට තාවකාලිකය.
එය තේරුම් ගත් කල සතුටෙහි නිමාව සිතට ගෙනෙන්නේ දුකක් වෙනුවට එම සතුට තුල අත්වින්දාවූ මිහිරියාව පිළිබඳ සුන්දර මතකයක්ම පමණකි.

එවිට සතුටෙහි නිමාව දුකක් නොවනු ඇත.

ඒ මට හිතෙන හැටිය.

Sunday, August 9, 2009

යෝගට් කෝප්ප

දිනය: අගෝස්තු 09, වසර 2009,
ඉරිදා දිනයක්

සිත් දින පොතෙන් බ්ලොග් දින පොතට - සටහන් අංක 4


යෝගට් කෝප්ප.............

අද ඉරිදා දිනයක් වූ බැවින් මා ලද විවේකයෙන් ඇවිදින්නට යාමට සිතුවෙමි.
මෙවන් විවේකයක් ලද බොහෝවිට මා ඇවිදින්නට යන්නේ විශ්ව විද්‍යාලය (පේරාදෙණිය) වෙතය.
පළමුව ක්‍රීඩාංගනය වෙත ගොස් එතැන ටික මොහොතක් රැඳී හිඳ ආසන්නයේ වූ කිරිහල වෙත ගියේ යෝගට් එකක් කෑමටය.

එම කිරිහල ඉදිරිපිට දර්ශනීය වෘක්ෂයක් ඇති අතර එහි අතු ඉතා පහතින් පිහිටා ඇත.

මේ ගස යට පවතින දැඩි සෙවනත් සිසිලත් නිසා බොහෝ දෙනා විවේකය පිණිස මෙතැනට පැමිනෙති. එමෙන්ම මේ ඉදිරිපිට ඇති බස් නැවතුමේ සිටින බොහෝ දෙනා ද බසයක් එන තුරු රැඳී සිටින්නේ මේ ගස් සෙවනේය.

බොහෝ දෙනෙකුට තරාතිරම නොබලා ගතට මෙන්ම හිතටද සිසිලක් ගෙනදෙන මේ වෘක්ෂය ආශ්‍රිත කුඩා පරිසරයට ඉන් ප්‍රයෝජන ගන්නාවූ ඇතමුන් සලකා ඇති අන්දම එතැනට ගිය මට දැක ගත හැකි විය.

තැන තැන වූයේ විසිකර දමා තිබූනු හිස් යෝගට් කෝප්ප හා සිලි සිලි මලුය.
එසේ කර ඇත්තේ ආසන්නයේම කසල බඳුනක් තියෙද්දීම ය.
මෙතරම් වූ සුන්දර පරිසරයක් තමන් විසින් අපවිත්‍ර කරනවා යයි මේවා විසිකරන විට ඔවුන්ට නොසිතෙනවා විය හැකිද?

සුන්දරත්වය පසෙකින් තබමු.

ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කරන්නැයි උදේ හවස කියද්දීත්, ලංකාවේ වැඩිම ඩෙංගු මරණ මහනුවර ප්‍රදේශයෙන් වාර්තා වෙද්දීත් තමන් හෝ තම හිතවතුන් නැවත මෙතැනට පැමිණෙන විට මරණයට මඟ සලසන්නට තරම් මොවුන් කුරිරුද, එසේත් නැත්නම් මෝඩද, නැත්නම් පුරුද්දද යන්න ගැටලුවකි.

මා කල දෙයක් නොවුනත්, මගේ රාජකාරියක් නොවුනත්, මගේ යුතුකමක් ලෙස සලකා ගස යට විසිරී තිබූ කසල සියල්ල එකතුකර අසල වූ කසල බඳුනට දැමීමි.

මෙතරම් වූ අලංකාර මේ ගසේ පහත ඇති අතු සියල්ලේම බොහෝ නම් ගම් දුරකථන අංක, ආදර වැකි කොටා ඇත. ඒ මෙම ගසට (අනා) ආදරය දක්වන්නවුන්ගේ සමරු සටහන්‍ ය. ඔවුන්ගේ නම් ගම් සහිතව ඔවුන් මේ බව ලොවට කියා පාති.

මේ සමඟම කිව යුතු තවත් කරුණක් ඇත. බොහෝ නිවාඩු දිනවල, උද්භිද උද්‍යානය නැරඹීමට පැමිණෙන ඇතැමුන් තම වාහන නවත්වන්නේ විශ්ව විද්‍යාල භූමිය තුලින් වැටී ඇති ගලහා මාර්ගය දෙපස අලංකාරව වවා ඇති තණ පිට්ටනි මතය.
එසේත් නැතිනම් මඟීන් සඳහා තනා ඇති කොන්ක්‍රීට් ස්ලැබ් මතය.

ඔවුන් කාබී, සතුටු වී, විවේක ගෙන එතැනින් පිටමංවන විට එතැන්හි ඉතිරි වන්නේ බත් ඉඳුල්, සිලිකොල, පත්තර කැබලි, හිස් ප්ලාස්ටික් බෝතල් හා පොඩිවුනු තණකොල හෝ කැඩී ගිය කොන්ක්‍රීට් ස්ලැබ්ය.

කලකට ඉහතදී නම් මෙවන් දේ සිදුවීම වැලැක්වූයේ විශ්ව විද්‍යාල ආරක්ෂක අංශයට පෙර සිසුන්‍ ය.

ඒ ඔවුන් එය තමන්ගේම ගෙවත්තයයි සැලකූ නිසාවෙන් පමණක් නොව එවන් දෙයකට ඉදිරිපත් වුවන්ට තමන් ගේ ආරක්ෂාව සම්බන්ධයෙන්ද එතරම් ගැටලුවක් නොතිබූ නිසාවෙනි.

නමුත් කාලයත් සමඟ සියල්ල වෙනස්ව ඇත.

දැන් විශ්ව විද්‍යාල සිසුන්ගෙන් බොහොමයකට විශ්ව විද්‍යාලය තමන්ගේම යැයි නොහැඟෙනවා වන්නට පුලුවන.

තමන්ගේය යන හැඟීමක් ඇත්තවුන්ද නිහඩව සිටින්නේ ඔවුන්ට ගලහා හන්දියෙන් එපිට (විශ්ව විද්‍යාලයෙන් එපිට) සුරක්ෂිත බවක් නොදැනෙන සමාජයක් බිහිව ඇති නිසාවෙන් වන්නට පුලුවන.

කවුරුත් තම අත පයටත් ජීවිතයටත් ආදරය වෙති.

මා දන්නා තරමින් වැසිකිළිය තියෙද්දී කිසිවෙකුත් තම මිදුලේ මලපහ නොකරයි.
එමෙන්ම, වෙනකෙකු තම මිදුලේ මලපහ කරනවාටද කැමති නොවනවා ඇත.
තම මිදුලේ ඇති ගසේ හෝ සාලයේ බිත්තියේ හෝ කුරුටු බලි අඳින්නේද නැත.

එවන් දේට අකමැති අපේ මිනිසුන් මෙවන් ක්‍රියා කරන්නේ මොන සිතකින්දැයි මට නොතේරේ.

ඒ මට හිතෙන හැටිය.

Saturday, August 8, 2009

දරු සෙනෙහස

දිනය: අගෝස්තු 08, වසර 2009, සෙනසුරාදා දිනයක්

සිත් දින පොතෙන් බ්ලොග් දින පොතට - සටහන් අංක 3

දරු සෙනෙහස.............................

නූපන් වුවත් තම කුසයේ හිඳින දරුවා කෙරේ මවකගේ සිත තුල උපදින්නේ අපරිමිත ස්නේහයකි.
උපන්ගෙයිම දරුවෙකුගේ වියෝව මවට එතරම්ම වේදනාකාරී වන්නේ එබැවිනි.

තම ගර්භනී සමයේ අවසන් භාගයෙහි හුන් මවක් තම දරුවා දැඟලීම අඩු බැවින් රෝහල් ගත වූවාය.
මූලික වෛද්‍ය පරීක්ෂණයෙන් අනතුරුව හදිසි සිසේරියන් ශල්‍යකර්මයක් සිදු කිරීමට තීරණය විය.

එහි නිර්වින්දන වෛද්‍යවරයා වූයේ මමය.

සියල්ල කඩිනමින් සිදු කල යුතුව ඇත.
සියලු කාර්‍යය මණ්ඩලය ඒ සඳහා යුහුසුලු විය.
ඒ මරණයේ දොරකඩට වී සිටින නූපන් දරුවාට ජීවනයට පාර කියා දෙන්නටය.

එක් අයෙකුට හැර ශල්‍යාගාරයේ සිටි අනෙක් සියල්ලන්ටම කාලය ගමන් ගනු දැනුනේ විදුලි වේගයෙනි.

කාලය නැවතී තිබුණේ මවගේය.
කාලය පමණක් නොව මුලු ලොවම නතර වූ සෙයක් ඇගේ මුහුනින් දිස් විය.

බලාපොරොත්තුව හා එය සුන්වේයැයි යන චකිතයද, සතුට හා දුකද, හුදකලා බව හා අසරණ බවද යන වදනින් නොකී සිතුවිලි සමූහය ඇගේ ඉරියව් කියා පාන්නට විය.

ඉතා කෙටි කලක් තුල දරුවා සැත්කමින් ඉවතට ගනු ලැබිණ.
සියලු ප්‍රතිකාර, ප්‍රතිකර්ම කෙරුනද ඒවන විටත් ඔහු මරණයේ දොරින් ඇතුල්වී නැවත නොඑන්නට බොහෝ දුර ගොසිනි.

අම්මේ... ,මා එලෙස ඇයව ඇමතුවේ සිදුව ඇති දේ පවසන්නටය.

මහත්තයෝ මගේ දරුවා නැති වෙලා නේද?..

ඇය එසේ අසන ලද්දේ ඇගේ සිතෙහි වූ සැකය දුරු කරගනු වස් නොව සිදුව ඇති දේ ඇය මේ වන විටත් වටහා ගෙන ඇති බව මා හට ඇඟවීමට බව ඇගේ මුහුණේ ඉරියව් කියා පෑවාය.

බොහෝ දෙනා ඇය අස්වසාලනුවස් බොහෝ දේ කීහ.එහෙත් ඇය කිසිවක් නොකීවාය.

ඇගේ දෙනෙතින් වැටුනු කඳුලු බිඳුවක් මගේ අතට වැටින.
මගේ අත පිලිස්සෙන තරම් උනුසුමක් හා එහි මහා බරක් මට දැනින.

ඒ ගලන්නේ,වදනින් නොකී ඇගේ හිතේ උපන් මහා ගින්නත්,තනිව දැරිය නොහැකිව කඩා වැටෙන හිතේ උපන් මහා බරත්, බව මට සිතුනි.

ඒ මට හිතෙන හැටිය.


Thursday, August 6, 2009

පුංචි එංගලන්තය

දිනය: අගෝස්තු 06, වසර 2009, බ්‍රහස්පතින්දා දිනයක්

සිත් දින පොතෙන් බ්ලොග් දින පොතට - සටහන් අංක 2


පුංචි එංගලන්තය..............................

පේරාදෙණියේ සිට නුවරඑළියට ඇත්තේ කි.මී හැටකි.
දැන් ගම්පොල සිට නුවරඑළියට, මාර්ගය කාපට් දමා නවීකරණය කර ඇති බැවින් ගමන ඉතා පහසුය.

ඉතින් මිතුරන් හෝ නෑදෑයන් පැමිණි විටෙක එහි ගොස් එන්නේ ගමනෙහි පහසුව නිසා හා කොතරම් ගියත් එපා නොවන සුන්දරත්වය නිසාය.

සීත සුළං අවට හමන්නේ
සුදු වළාකුලයි කන්දෙ හැපෙන්නේ
නුවරඑළියෙ යන්න විවේකයක් ගන්න
ඇඟේ පතේ සුවේ දැනෙන්නේ..............

එහි යන හැම විටෙකම එම ගීතය හිත තුල රැව් දෙන්නේ නිරායාසයෙනි.

පුංචි එංගලන්තය.........................................!

බ්‍රිතන්‍යයන් විසින් ඉදිකරන ලද ගොඩනැගිලිද එහි දේශගුණයද නිසාවෙන් නුවරඑළිය පුංචි එංගලන්තයක් බවට පත් වී ඇති අපූරුව හරිම චමත්කාරජනකය.

යටත් විජිත කාලය හා ඉන් රටට සිදුවූ හානිය මෙනෙහි කරමින්, නිරන්තරයෙන් අපි බ්‍රිතාන්‍යයන්ට බැන වදිමු.

අපේ පරිසරය වනසා තේ හැදුවේ ඔවුන්ගේ ලාභයටය.
ඔවුන් රේල් පාර හැදුවේද ඔවුන්ගේ වාසියටය.
නුවරඑළිය හැදුවේ ඔවුන්ගේ විවේකයටය.

එය සත්‍යයක් ය.

දේශ හිතෛෂීත්වයෙන් ඔද වැඩී අපි බ්‍රිතාන්‍යයන්ව පලු ගසමු.
එනිසා ඔවුන්ව අප මතකයෙන් අකා මකා දමන්නට, නුවරඑළියෙහි බ්‍රිතාන්‍යයන් ඉතිරි කල ගෘහ නිර්මාණ හා නගර නිර්මාණ මකා දැමුවෝතින් හරිය.
එවිට එය දේශප්‍රේමීත්වයෙන් හා දේශ හිතෛෂීත්වයෙන් කල දෙයක් ලෙස අර්ථදැක්විය හැකි වනු ඇත.

මට හැඟෙන විදියට කලක සිට අප එම යුතුකම ඉටු කරමින් සිටිමු.

බ්‍රිතාන්‍යයන් ඉතිරි කල නගර සලැස්ම වනසමින්, ආවේණික ගෘහ නිර්මාණ ශිල්පීය ක්‍රමවේදයට තැනූ ගොඩනැඟිලි වලට නොගැලපෙන සේ ඒවා අභිබවමින් කොන්ක්‍රීට් වනාන්තරයක්ද, මුඩුක්කු පරිසරයක්ද අපි නිර්මාණය කරමින් සිටිමු.

නගර නිර්මාණ ශිල්පය යනු වාස්තු විද්‍යා විෂය ධාරාවට අයත් දියුණු ශිල්පීය ක්‍රමයකි.
ලංකාවේ ඒ සම්බන්ධයෙන් විද්වතුන් බිහිකරන්නේ මොරටුව විශ්ව විද්‍යාලයයි.
එනිසා එම ක්ෂේත්‍රයෙහි අපට විද්වතුන්ගේ හිඟයක් තිබිය නොහැක.

නුවරඑළිය වන්වූ සෞන්දර්යාපත්මක හා ගෘහ හා නගර නිර්මාණ ශිල්පීය වශයෙන් වැදගත් නගරයක් සංවර්ධනයේදී, එය, ඒ සම්බන්ධ විශේෂඥයින්ගේ අධීක්ෂණය හා සැලසුම් වලට අනුව සිදු විය යුතුය.

නගර මධ්‍යයයේ ඇති මහා කොන්ක්‍රීට් සාප්පු සංකීර්ණයේ සිට නගර සීමාව පුරාම ඉදිවෙමින් පවතින අක්‍රමවත් හා නොගැලපෙන ඉදිකිරීම් පරිසරයට මෙන්ම නගර අලංකාරයටද කරන්නේ මහත්වූ හානියකි.

මේ අයුරින් තවත් ඉදිරියට ගියෝතින් නුවරඑළිය කඳුකරයේ මරදාන බවට පත් වනු ඇත.

සුන්දර නුවරඑළිය අපට අහිමිව ඇතැයි එදිනට තේරෙන විට එයටද අප බනිනු ඇත්තේ බ්‍රිතාන්‍යයන්ටය.
ඒ අනෙකක් නිසා නොව බ්‍රිතාන්‍යයන් ඉතිරි කල යටත්විජිත මානසිකත්වය විසින් අපට මේ සුන්දර නගරය රැක ගැනීමට නොහැකි කලාය යන තර්කය හේතුවෙන්ය.

එසේ ඔවුන්ට බනිමින්ම, නගරය විනාශ කලවුන් වෙනුවෙන්, අප පිලිම තනා මල්මාලා පලඳවා වීදිද නම් කරනු ඇත.

ඒ අපේ හැටිය.

නිදහස ලබා අවුරුදු හැටකුත් ඉක්ම ගොස් ඇති කල අප තවමත් මෙතැන සිටින්නේ කාගේ වරදින්දැයි සිතිය යුතුව ඇත.

ඒ මට හිතෙන හැටිය.