Sunday, November 15, 2009

හිස් වූ අසුන්

දිනය;නොවැම්බර් 15, වසර 2009,ඉරිදා දිනයක්

සිත් දින පොතෙන් බ්ලොග් දින පොතට සටහන් අංක 15

හිස් වූ අසුන්

නොවැම්බර් 03 වෙනිදා සිට 06 වැනිදා දක්වා දින හතරක සිනමා උළෙලක් පේරාදෙණිය විශ්ව විශ්ව විද්‍යාලයීය ලලිත කලා අධ්‍යයන අංශය විසින් සංවිධානය කර තිබුණි.

පස්වරු 5.30 ට ඇරඹෙන මෙම උළෙලට සහභාගී වීම සඳහා මා කාල වේලාව වෙන් කර ගත්තේ බොහෝ අපහසුවෙන්‍ ය.

අපහසුවෙන් හෝ මා එසේ කරන්නට ඇත්තේ චිත්‍රපටි කලාව කෙරෙහි ඇති මාගේ නොනිම් ආශාව නිසා වන්නට පුලුවන.

පලමු දින මා එහි යන විට වේලාව ප.ව 5.45 ට පමණ විය.

විනාඩි පහලොවක් පමණ පමාවී ඇති බැවින් අසුන් ගැනීමට තැනක් නැතිවේද යන චකිතයෙන් මා කඩිමුඩියේ එහි ගියෙමි.

මීට කලකට ඉහතදී නම් මෙවන් චිත්‍රපට උළෙලක් නැරඹීමට පැමිණෙන සිසුන්ගේ පෝලිම ඇරඹෙන්නේ ප.ව් 4.30 පමණ සිටය.

චිත්‍රපටය ඇරඹෙන වේලාව වන විට සියලු අසුන් පිරී යනවා පමණක් නොව සිටගෙන සිටීමටද තැනක් නැතිවන ආකාරයට මුලු ශාලාවම අතුරු සිදුරු නැතිව පිරී යන්නේය.

මෙවන් සිතිවිල්ලක් සිතෙහි දරාගෙන එහි ඇතුලු වූ මා මවිතයට පත්වීමි.

ශාලාව තුල කිසිදු කලබලයක් හෝ තදබදයක් නැත.

ලලිත කලා අධ්‍යයන අංශයේ හා කලා පීඨයේ වෙනත් අංශවල ආචාර්‍ය වරුන් කිහිප දෙනෙක්ද සිසුන් කිහිප දෙනෙක්ද ශාලාව තුල සිටිනු දක්නට විය.

එනම් ශාලාවේ අවසන් පේළි දෙක පුරවන්නට තරම්වත් පිරිසක් එහි නොවීය.

මේ දසුන අදහා ගත නොහැකි වූ මා පිටතට ගොස් එහි දමා තිබූ බැනරය නැවත පිරික්සුවේ, මාහට දිනය හෝ වේලාව හෝ වැරදුනේවත්දැයි යන සැකය දුරුකරගනු පිණිසය.

පළමු දින එහි ආරාධිත අමුත්තන් වූයේ ප්‍රවීණ සිනමා ශිල්පී ප්‍රසන්න විතානගේ හා ඔහුගේ බිරිඳ වන දමයන්ති ෆොන්සේකාය.

එදින ඔහුගේ නිර්මාණයක් වන, අනන්ත රාත්‍රිය චිත්‍රපටිය හා දමයන්තිගේ ‘පොඩිනම’ යන කෙටි චිත්‍රපටිය තිරගත වීමට නියමිතව තිබිණ.

චිත්‍රපට දර්ශණය අවසානයේ ඔහු හා සමඟ සංවාදයක්ද සංවිධානය කර තිබිණ.

සිනමාව පිළිබඳ පෘථුල දැනුමක් ඇතිවා පමණක් නොව සිංහල සිනමාවට විශිෂ්ට වූ කෘතීන් දායාද කරමින් ජාත්‍යන්තරය තුල සිංහල සිනමාව බබලවන්නට සමත්වූ මේ කලාකරුවාට, කර්මාන්තයක් ලෙස සිංහල සිනමාව අද මුහුණ පා සිටින අර්බුදය ගැනද හොඳ වැටහීමක් ඇතුවාට කිසිදු සැකයක් නැත.

එහෙත් විශ්ව විද්‍යාලයක් තුල පවත්වන මේ සිනමා උළෙලේ ශිෂ්‍ය සහභාගීත්වය ඔහුටද ගැටලුවක් වන්නට ඇතැයි මට සිතුනි.

කලකට පෙර සිනමා ශාලා මිනිසුන්ගෙන් පිරී ඉතිරී යන තැන්ව පැවතින.

ඇතැම්විට පමා වී පැමිණියොත් ඉතිරි වන්නේ ඉදිරිපෙළ අසුන් පමණකි.

එකල චිත්‍රපටියක් නැරඹීමට යනවා යනු විශේෂ ගමනකි.හොඳින් ඇඳ පැළඳ සූදානම් වී පවුල් පිටින් හෝ යහලුවන් කණ්ඩායම් වශයෙන්ද පෙම්වතුන් ජෝඩු ලෙසද, පුද්ගලයන් තනි තනිවද සිනමා ශාලා වලට ඇදුනි.

එකල දර්ශණ වාර සියල්ල ජනයාගෙන් පිරී ඉතිරී පැවතින.

කාලයත් සමඟ සියල්ල වෙනස්ව ඇත.

ඒ, වෙනස් වීම යථාර්තයක් වන නිසා වන්නට පුලුවන.

අද බොහෝ සිනමා ශාලා වැසීගොස් ය.

සෑම සිනමා ශාලාවක්ම පාහේ මැස්සන් ඇහිරෙන තැන්ව ඇත.

අඩුම තරමේ දෛනික නඩත්තු කටයුතු හා පඩිනඩි ගෙවා ගැනීමට තරම්වත් ආදායමක් ලබා ගැනීමට නොහැකි තරමට ප්‍රේක්ෂකයින් සිනමා ශාලාවලින් ඈත්ව සිටයි.

පසුපෙල ආසන කිහිපයක, යන්තම් ප්‍රේක්ෂකයින් කිහිපදෙනෙක් සිටින දර්ශණ වාර බොහෝය.

චිත්‍රපටයක් නැරඹීම තවදුරටත් විශේෂ දෙයක් නොවී ඇත.

එය රසයක්, අත්විඳීමක් ලබන හෝ විනෝදයක් හෝ විවේකයක් ලබන ක්‍රියාමාර්ගයක් නොවී ඇත්තාසේය.

ඒවෙනුවට සිනමා ශාලාව පෙම්වතුන්ට නිදහසේ පෙම්බස් තෙපලන්නට ලැගුම් හලක් බවට පත්වන්නට විය.

නමුත් එයද දැන් දැන් වෙනස්වී යමින් පවතින්නේ, ඔවුනට ඒ සඳහා ඊටත් වඩා හොඳ ඕනෑ තරම් තැන් අද බිහිව ඇති නිසාය.

සියල්ලෝම සිනමා ශාලාවෙන් සමුගනිමින් සිටින්නා සේය.

මහා සමාජයේ සිදුවන වෙනස්වීම්, බිඳ වැටීම් එහිම කොටස් වන උප සමාජයන්ගේද දක්නට හැකිවෙයි.

විශ්ව විද්‍යාලය තුල පැවති මේ සිනමා උළෙල තුල වූ හිස්වූ අසුන් කියා පෑවේ, ඒ යථාර්තයමද?

බුද්ධිමය සමාජයක් පැවතිය යුත්තේයැයි අපේක්ෂිත, මතවාද ගැටෙන හා නව මතවාද උපදින්නට තිඹිරි ගෙයක් විය යුතු විශ්වවිද්‍යාල සමාජය තුල මේ කඩා වැටීම මහා සමාජයේ අඳුර නසන්නට පහන් තනන්නාවූ උප සමාජයක බිඳ වැටීමේ පෙර නිමිත්තක් පමණක් නොව අඳුරු අනාගතයකද පෙරනිමිත්තක් යැයි මට සිතේ.

ඒ මට හිතෙන හැටිය.

2 comments:

  1. Good Post, මීට අනික් හේතුව ලාකේය සිනමා කර්මාන්තයේ වාරණ හා දුර්වල ප්‍රතිපත්ති වගේම දුෂණ හේතු වූ බවයි මගේ හැඟිම, පසුගිය කාලවල සිනමා කර්මාන්තයේ අධ්‍යක්ෂ තනතුරු දැරැවේ අදක්ෂ හා දේශපාලන සොල්දාදුවන් බව ඔබ දන්නා ඇතිනේ.

    මේ ඉන් එකක් පමණයි : http://binkulife.blogspot.com/2009/10/blog-post_06.html
    ඔබ වැනී ප්‍රේමීයන් ඉතිරි වී සිටිම සැබෑවින්ම ආඩම්බරයකි

    ReplyDelete
  2. තවත් හේතුවක් විය හැක්කේ රූපවාහිනි මාධ්‍යයන්, අන්තර්ජාලය හා සිනමාව ආශ්‍රීත විවිධ විඩියෝ සහ සංයුකත තැටි ආදිය විය හැකි ය. රටේ ආර්ථික තත්ත්වය දරිද්‍රතාවයට ඇදී යන විට සිනමාව නැරඹිමට යන්නේ කවු ද? කන්න යමක් සොයනවා වෙනුවට වෙන ප්‍රමුකතා බොහෝ දෙනෙකුට නැහැ. ළඟදී මා ඇමරිකාවේ චිත්‍රපටයක් නැරඹුවා සිනමා ශාලාවේ ම හිටියේ 10 අඩු පිරිසක්. හැබැයි හොඳ චිත්‍රපටියක් එන විට, බැට්මෑන් හෝ එවැනි, පෝලිම නිමක් නැහැ. ඒ අනුව, ඉහළ සම්මත තත්ත්වයක් වැදගත් දෙයක්...

    ReplyDelete