Monday, October 17, 2011

ප‍ටු මාවත

දිනය; ඔක්තොබර් 17, වසර 2011, සඳුදා දිනයක්,

සිත් දින පොතෙන් බ්ලොග් දින පොතට සටහන් අංක 20

ප‍ටු මාවත..................

ජීවිතයේ අප විවිධ වූ කාල පරිච්ඡේදයන් පසු කරමු.
සතුට හා දුක පදනම්ව මේ කාලයන් හොඳ හා නරක ලෙස නම් කරමු.

කවුරුත් සතුටට ප්‍රිය වෙති. එනිසාම හොඳ කාලයන්ට ප්‍රිය වෙති.
මේ ප්‍රියතාවයම වෙනස්වීම නම් වූ යථාර්තය පිළිබඳ අවබෝධයෙන් අපව මුදවන්නට සමත්ය.
ඒ හේතුවෙන්ම කාලය නරක වන විට, පීඩාව හා පරාජය පැමිණෙන විට, බොහෝ දෙනා ඒ ගැන තැවෙමින් දැවෙමින් ඊට හේතු හොයන්නට පෙළඹේ.
මුදල් මත පදනම්ව ඇති සාර්ථකත්වයම උලුප්පා දක්වන සමාජ ක්‍රමයක් තුල අසාර්ථකත්වයට මුහුණ දීමට, එය පිළිගැනීමට තරම්වූ පුලුල් වූ මානසිකත්වයක් හා ස්වාධීනත්වයක් ගොඩනඟා ගැනීමට කෙනෙකුට ඇති අවකාශ අල්පය.


පසුගිය වසරක පමණ කාලය මාහට ඉතා නරක කාලයකි.

මේ කාලයේ ආරම්බය සටහන් වූයේ මා බිරින්දෑට හට ගත් අසනීපයකිනි. ටික කලක් තිස්සේ ඇගේ හිසෙහි වූ කුඩා ගෙඩියක වර්ධනයක් පෙන්වූ බැවින් ඒ ගැන පරීක්ෂණ කරන්නට පෙළඹුනෙමු. කරන ලද ස්කෑන් පරික්ෂණ සියල්ල රෝග විනිෂ්චයක් උදෙසා නිෂ්චිත නිගමනයකට පැමිණීමට තරම් පි‍ටුවහලක් නොවී, පිළිකාවක් හා පිළිකාවක් නොවන සාමාන්‍ය වර්ධනයක් යන රෝග නිෂ්චයන් දෙක අතර නැවතුනි. යම් හෙයකින් එය පිළිකාවක් වුණි නම් එය ඉතා භයානක තත්වයේ එකක් වන්නට බොහෝ ඉඩ තිබුණි. ශල්‍යකර්මයකින් එය ඉවත් කර පටක පරීක්ෂණයකින් නිෂ්චිත නිගමනයකට පැමිණෙන තුරු අප ගත කල කාලය පුදුමාකාරය. ඉතා හදිසියේ කිසිදු සූදානමකින් තොරව අහඹු සොයා ගැනීමක් වූ මේ අසනීපය අප ජීවිත හදිසි කැළඹීමකට ලක් කරන්නට සමත් විය. අප දෙදෙනාටම වෙන්වීම පිළිබඳ දෙගිඩියාව තදින්ම දැනෙන්නට විය. දරු දෙදෙනාගෙනුත් මගෙනුත් සමුගැනීමේ වේදනාව ඇයට මෙන්ම මටද මහත් ලෙස දැනුනි. මවක අහිමිව දරුවන්ගේ සිත් තුල හට ගන්නා වේදනාව ගැන සිතන විට අප තවත් වේදනාවට පත් වීමු.

බැඳීම් අපව කෙතරම් වේදනාවට පමුණුවන්නේදැයි පසක් කරවන්නට මේ අත්දැකීම සමත් විය. එහෙත් කාලය මේ සියල්ල අතරේ ඉදිරියට ඇදෙමින් පැවතුනි. අපට මෙසේ වෙන්නේ ඇයිද යන ප්‍රශ්ණය අසන්නට මා නොපෙලඹෙන්නට එකම එක හේතුවක් ලෙස මා සිතන්නේ මා අදහන හා මාගේ දැක්ම පදනම්ව ඇති කිතු දහම යැයි මට සිතේ. ප්‍රශ්ණයක් ආ කල නිෂ්චලව එක්තැන්ව ඒ දෙස බලා හිඳින්නට මේ දහම මා හට මහත් පි‍ටුවහලක් විය.


තවත් ටික කලකට පසු මාගේ පුතු හට කුඩා ශල්‍යකර්මයකට මුහුණ දෙන්නට සිදු විය.
තවත් මාස කිහිපයකට පසු මාගේ පියා හදිසියේ අසනීප විය. ඉතා අසාධ්‍ය තත්වයෙන් දැඩි සත්කාර ඒකකයේ පවා ප්‍රතිකාර ලබන්නට ඔහුට සිදු විය. ඉන් තරමක සුවයක් ලත් ඔහු දැනට සතියකට පමණ පෙර ශල්‍යකර්මයකටද මුහුණ දුනි.


එක් ප්‍රශ්ණයක් අවසන ඊට පසුපසින් තවත් ප්‍රශ්ණයක් පැමිණි මේ කාලය දෙස මා ලද මේ විරාමය තුල නැවත හැරී බලන්නට සිත් විය. බොහෝ විට අපට ප්‍රශ්ණ වලින් පලා යා නොහැක. වළක්වා ගත හැකි යැයි සිතුවත් බොහෝමයක් ප්‍රශ්ණ එසේ නොවේ. එවන් අවස්ථා වල මුහුණ දීම හැර වෙනත් කල හැකි දෙයක් නොමැත.

ප්‍රශ්ණයකට මුහුණ දීමේදී විවිධ සාධක ඒ සඳහා බලපායි. තම අධ්‍යපනය, වයස, අත්දැකීම්,ඇදහීම්, සමාජ සංස්කෘතික වටපිටාව වන් වූ බොහෝ කාරණා ඒ අතර වෙයි. ඒ හේතුවෙන්ම අයෙක් ප්‍රශ්ණයකට මුහුණ දෙන ආකාරය තවත් අයෙක් ප්‍රශ්ණයකට මුහුණ දෙන ආකාරයෙන් වෙනස් වෙයි. සමාන ප්‍රශ්නයකදී දෙදෙනෙක් එකිනෙකට වෙනස් අයුරින් මුහුණ දෙන්නේ මේ විවිධ වූ සාධකයන් නිසාය.


ජීවිතය, සාර්ථකත්වය මෙන්ම අසාර්ථකත්වයද කැ‍ටුව යන ගමනකි. සාර්ථකත්වයේදී සතුටට පත්වීමටත් අසාර්ථකත්වයේදී දුකට පත් වීමටත් ඇති නැඹුරුතාවය නිසාම දුකින් මිදීමට වඩා සතුට සදා ලං කර තබා ගැනීමට මිනිසුන් පෙළඹෙති. සතුට පවත්වා ගැනීමටත් අහිමිවූ සතුට නැවත ලං කර ගැනීමටත් මිනිසුන් අපමණ වෙහෙසක් දරති.සතුට සදාකල් පවත්වා ගැනීම යථාර්තයක් නොවන බැවින් සිදුවිය යුත්තේ, දුකින් මිදීම හෙවත් දුකට ගොදුරු වීමේ ප්‍රවණතාවයෙන් මිදීමට උත්සාහ ගැනීමයි.

නුමුත් සැබෑවටම ඒ මාවතට පිළිපන් මිනිසුන් කෙතරම් අල්පද?

"ප‍ටු දොර‍ටුවෙන් ඇතුල් වන්න. විනාශයට යන දොර‍ටුව විශාලය, පාරත් පළල්ය. එයින් ඇතුල් වන්නෝද බොහෝය. එහෙත් ජීවනයට යන දොර‍ටුව ප‍ටුය, පාරද අවහිරය; එය සොයාගන්නෝ ස්වල්ප දෙනෙක් පමණකි." යේසුස් වහන්සේ එසේ පැවසූ සේක.....

මේ කාලය තුල ජීවිතයේ මා ලද අත්දැකීම් තව දුරටත් ඒ ප‍ටු මාවතේ ගමන් කිරීමට ධෛර්‍යයක් හා මඟපෙන්වීමක් වූවායැයි මට සිතේ.

ඒ මට සිතෙන හැටිය.