Wednesday, October 13, 2010

නින්ද නැති ‍රැයේ

දිනය; ඔක්තොබර් 13, වසර 2010, බදාදා දිනයක්,

සිත් දින පොතෙන් බ්ලොග් දින පොතට සටහන් අංක 19

නින්ද නැති ‍රැයේ..............

වෛද්‍ය වෘත්තිය නිදි වර්ජිත රාත්‍රීන් කොතෙකුත් ඇති ‍රැකියාවකි.
මෙලෙස නිදි වරන සෑම දිනකම මාගේ සිතට නැගෙන ගීතයක් වන්නේ කපුගේ මහතා ගයන නින්ද නැති ‍රැයේ ගීතයයි. එම ගීතයේ අන්තර්ගතයෙන් කියැවෙන නිදි නැති රාත්‍රිය හා මාගේ නිදි වැරීම අතර කිසිදු සබඳතාවක් නොමැති වුවද, නින්දක් නොමැති වීමත් රාත්‍රියක් වීමත්, මේ ගීතය එවන් අවස්ථාවක මාගේ සිතට ඇතුලු වන්නට හේතු වනවා ඇත.

මෙම ගීතය මා මුලින්ම ශ්‍රවණය කලේ අට වසරේ ඉගෙනුම ලබන අවදියේදීය. ඒ යුගයේ මෙම ගීතය මට ලස්සන තනුවක් සහිත ගීතයක් පමණක් විය.

එහෙත් වයසින් මුහුකුරා යත්ම ගීත ශ්‍රවණයේදී මාගේ අවධානය ගීතයක පද වැලේ අරුත කෙරෙහිද යොමුවන්නට විය. ගීත වල අරුත වැටහෙන්නට පටන්ගත්දා සිට මා ගීත ඇසීම පසෙකලා ගීත රස විඳීමට පෙළඹුනෙමි. අරුත්බර ගීත සොයමින් ඒවායේ අරුත ගායකයාගේ කට හඬෙන් සහ සංගීතයේ ආධාරයෙන් වින්දනයට මා ලොල් වූයෙමි. ඇතැම් ගීත වල අරුත වින්දනයට එනම් ඒ හැඟීම් එයාකාරයෙන්ම දනවන්නට ගායකයා හා සංගීතඥයා දක්වන දායකත්වය හා සමත්කම ගැන මා විස්මයට පත්වීමි. නිතැතින්ම එවන් කට හඬවල් සහිත ගායකයින් මාගේ ප්‍රියතම ගායකයින් බවට පත්විය. එහෙත් අභාග්‍යක මහත වන්නේ අද නව පරපුරේ බිහිවන අති විශාල ගායක පරපුර තුල කටහඬෙන් හැඟීම් දනවන්නට සමත් වූවන් සිටින්නේ ඉතාම අතලොස්සක් වීමයි. ඇත්තෙන්ම නැතුවාම වාගේය. රිද්මය මුල් කරගත් ගීත සංස්කෘතියක් තුල එවන් ගායකයින්ට හා ගීතයන්ට අවකාශයක් නැතිද යන්න මට ගැටලුවකි.

ගීත රචකයින් ලියන්නාවූ ඇතැම් ගීතයන් තුල ඔවුන් ප්‍රකාශණයට අදහස් කල දේට ඔබ්බෙන් වූ බොහෝ දේ එම ගීත ශ්‍රවණයේදී මතුවන අවස්තා එමට ඇත.
එවන්වූ ගීත අතුරින් මා හට ද්විත්ව අරුත් දනවන ගීතයක් ලෙස කපුගේ ගයන නින්ද නැති ‍රැයේ ගීතය හැඳින්විය හැක.
මෙහි රචකයා වින්දනීය වූ ගීත රාශියක් සිංහල ගීත ක්ෂේත්‍රයට දායාද කල රත්න ශ්‍රි විජේසිංහ ය. සංගීතය ගුණදාස කපුගේ ගේමය.


නින්ද නැති ‍රැයේ.....සඳ කඳුලු මීදුමේ.......
හැංගිලා අඬන්නෙ ඇයිද ප්‍රථම ප්‍රේමයේ......
තාරකා දියේ ගිලී නිල් එළිය නිවේ.....
වැහි බිංදු වැටේවී.... රෝස පෙති කඩා හැලේ.......

කිළිපොලා යමින් සැලී යමින් නොනිම් සීතලේ....
තුරුලු වෙමි දෙනෙත් පියා.... ඔබගෙ උණුසුමේ..........
ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ....
හෙට උදේම අවදි වී යා යුතුව තිබේ.......

රැය ගෙවේ සඳත් නිවේ දුරයි ජීවිතේ........
ඉතින් අවසරයි මගේ පුංචි කුමරියේ......
ක‍ටුවලට දෙතොල් තියා මලක් නැති ගසේ.......
සිඹිමි එකම හාදුවයි සොඳුර එය මගේ........


නිදි නැති මංගල රාත්‍රියේ ප්‍රථම ප්‍රේමයේ මතකයන් අවදි වී වැලපෙන තම මනාළිය කඳුලු මීදුමක සැඟවී හඬන සඳකට උපමා කෙරෙයි.
තාරකා, දියේ ගිලුනු කල එහි නිල් එලිය නිවෙන්නා සේ කඳුලු පිරීමෙන් තාරකා වන්වූ ඇයගේ නෙතු යුගෙහි දීප්තිය නැතිව යයි.
වැහි බිංදු සේ කඳුලු කඩා වැටෙමින් රෝස පෙති වන් වූ ඇගේ දෙතොල් සලිත වෙයි.

වයසින් මුහුකුරා ගිය, ජීවිතයෙහි යථාර්තය අවබෝධ කර ගත් පරිණත වූ ඔහු (මනාළයා) මෙසේ පවසයි.......

මේ සියල්ල දකින මාගේ සිත කිලිපොලා යතත් කිසිවක් නුදු‍ටුවා සේ මා දෑස් පියා ගෙන ඔබ උණුසුම පතා තුරුලු වන්නෙමි.
සොඳුරිය...... ජීවිතය යනු සිහිනයක් නොවෙයි. එහි යතාර්ථය ක‍ටුක වුවද අප එයට මුහුණ දිය යුතුය.
එනිසාම ඔබගේ ප්‍රථම ප්‍රේමයේ සිහිනයෙන් ඔබ අවදි වී හෙටින් ඇරඹෙන අපගේ නව දිවියට එක්ව මුහුණ දෙමු.

මේ රාත්‍රිය තව ටික මොහොතකින් ගෙවේවි. මේ සඳත් නිවේවි. එලෙසම මේ ක‍ටුකත්වය පවතින්නේ ටික කලකටය.
එහෙත්, හෙටින් ඇරඹෙන අප ජීවිතය බොහෝ දුරය.
වෙනකෙකු නුඹේ සිත් කුසුම නෙලාගෙන ඇත. ප්‍රේමයේ සිත් කුසුම නෙලූ බැවින් ක‍ටු අත්තක් වන්වූ පුංචි කුමරියේ, මට ඉඩ දෙන්න, ඔහු මෙන්ම මමද නුඹට ආදරෙයි. එනිසාම ඔහුගේ හාදුව මෙන්ම මගේ මේ හාදුවද නුඹට උණුසුමක් ගෙන දේවි. ඒ හාදු දෙක අතර වෙනසක් නොහැ‍ඟේවි. එහෙත් ඒ හාදුව ඔහුගේ නොවේ මාගේය.

ඒ, ගීතයෙන් මතුවන එක් අර්ථයක්ය.

එලෙසම, තම ප්‍රථම ප්‍රේමය මල් ඵල ගැන්වීමට අපොහොසත් වූ අවාසනාවන්ත පෙම්වත් යුවලක අනියම් හමුවක් ගැන මේ ගීතයෙන් අරුත් ගැන්වෙන අපූරුව මෙසේ සටහන් කල හැක.

එහිදී ප්‍රථම ප්‍රේමයේ පෙම්වතා තම පෙම්වතිය අමතමින් මෙලෙස පවසයි.

මගේ සොඳුරිය........ ,
මේ නිදි නැති රාත්‍රියේ, අප ප්‍රථම ප්‍රේමයේ මතකයන් අතර සැඟවී නුඹ අඬන්නේ කිමද?
සඳක් වන්වූ නුඹේ මුහුණ කඳුලින් වැසී ඇත. තාරකා වන් වූ නුඹේ නෙතු යුගෙහි දීප්තිය කඳුලින් බොඳවී නිවී ගොස් ඇත.
වැහි බිංදු සේ කඳුලු කඩා වැටෙමින් රෝස පෙතිවන්වූ නුඹේ දෙතොල් සලිත වෙයි.

නුඹ නොමැති මා මිය ගොසින්ය. තනිකඩව මා ගෙවනා මේ ජීවිතය උණුසුමින් තොරය. ලෝකයා කුමක් කීවත් කලත් ඒ සියල්ලට දෑස් පියා, නොනිම් වූ සීතලෙන් කිළිපොලා යන මගේ ගතත් සිතත් නුඹේ උණුසුම සොයා නුඹට තුරුල් වෙයි.
එහෙත් සොඳුරිය, මේ මොහොත කොතරම් සුන්දර වුවත් අප ගෙවන මේ ජීවිතය සිහිනයක් නොවෙයි. එනිසාම මේ සිහිනෙන් අවදිවී ක‍ටුක වූ යථාර්තයට අප නැවතත් හෙට සිට මුහුණ දිය යුතුව ඇත.


මේ ‍රැය ගෙවේවි. මේ සඳත් නිවේවි. තව ටික මොහොතකින් අප මේ සුන්දර හමුව නිමා කල යුතුව ඇත. එහෙත් කළනොකිරෙන්න. මන්ද අප ජීවිතයේ තව බොහෝ දුරක් ඇත.
මගේ පුංචි කුමරියේ සියල්ල අමතක කර දමා ඉතින් මට අවසර දෙන්න. තාවකාලික වුවත් අප මේ මොහොත සතුටින් ගත කරමු. මා නෙලන්නට සිටි මේ ප්‍රේමයේ කුසුම වෙනකෙකු නෙලා ඇත.මලක් නොමැති ක‍ටු අත්තක ඵලක් නූපදී. එලෙසම අප මේ හමුව අපට ඵලක් ගෙන නොදේවි. තහනම් පෙමක් ක‍ටු අත්තකට දෙන හාදුවක් වැනිය. එතරම්ම භයංකරය. එහෙත් මා සොඳුරිය, ඒ ක‍ටු අත්තේ ක‍ටු වලට මා දෙතොල් තියා සිඹින්නේ නුඹට ඇති මාගේ අත්‍යන්ත ප්‍රේමය නිසාවෙනි. ඒ හාදුව කවදත් මා ඔබට දෙන ප්‍රේමයේ එකම හාදුවය.


මෙලෙසින් මේ ගීතයේ පද වැලෙන් එකිනෙකට හාත්පසින් වෙනස් වූ අර්ථ දෙකක් නිරූපනය වන අයුරු ඉතා අපූරුය. ඒ අපූර්වත්වයම මා මේ ගීතයට බැඳ තබන්නට සමත් වෙයි.

ඒ මට හිතෙන හැටිය......

Tuesday, October 12, 2010

මරණයේ දොර‍ටුපල්ලා

දිනය; ඔක්‍තෝබර් 12, වසර 2010,අඟහරුවාදා දිනයක්,

සිත් දින පොතෙන් බ්ලොග් දින පොතට සටහන් අංක 18


මරණයේ දොර‍ටුපල්ලා.............................


ජීවිතය හා මරණය අතර ඇත්තේ පුදුමාකාර සබැඳියාවකි.
ඒ සබැඳියාව නිසාම ජීවිතය පුරාවටම, මරණය ජීවිතය හා ලුහුබඳිමින් ඒ පසුපසම ගමන් ගනී.
ජීවිතය මරණයේ අත ගන්නා තුරුම ඔවුන් වෙන් වෙන්ව නුමුත් එක්ව ගමන් ගනී.
ජීවිතය හා මරණය අතර ඇති මේ අපූර්ව සම්බන්ධතාවය පිළිබඳ අවබෝධය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙයි. මේ අවබෝධයේ තරම මත එකිනෙකා ජීවිතය හෝ මරණය දෙස බලන ආකාරයද වෙනස් වේ.


රෝහලක දැඩි සත්කාර ඒකකයක් යනු ජීවිතයත් මරණයත් අතර සරණ මංගල්‍යය වලකාලන දුෂ්ඨයන් ( මරණයට එරෙහි ) පිරුණු ස්ථානයකි.
ජීවිතය හා මරණය අතර ප්‍රේමය ඔඩුදුවා, හොර රහසේම පැන යන්නට තනන විට එයට අකුල්හෙලනුවස් රෝගීන්ව මෙතැනට ගෙනැවිත් දමයි.

මමත් ඔවුන්ගේ ප්‍රේමයට එරෙහිවන දුෂ්ටයින්ගෙන් කෙනෙක්මි. අපගේ සටන ජයගන්නවා යනු ජීවිතය මරණයෙන් වෙන්කිරීමය. එහෙත් ඒ වෙන් කිරීම තාවකාලිකය. මන්ද කවදා හෝ දිනයක ඔවුන් නැවතත් හොරෙන්ම හෝ එළිපිටම එකතු වන බැවිනි.


මරණය හා ජීවිතය පිළිබඳව ඇති අවබෝධය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්ය. එයට පුද්ගල පෞරුෂ ලක්ෂණ මෙන්ම සමාජීය සංස්කෘතික ගති ලක්ෂණද බෙහෙවින්ම බලපායි.

විවිධාකාර වූ දෘෂ්ඨීන් සහිතවූද, විවිධාකාර සමාජ හා සංස්කෘතික පසුබිම් වලින් පැමිනෙන්නාවූද රෝගීන් හා ඔවුන්ගේ ඥාතී හිත මිත්‍රාදීන් ඇසුරට දැඩිසත්කාර ඒකකයේ මාගේ සේවා කාලය තුලදී මා හට ඉඩ ලැබෙයි. ප්‍රථිකාර කිරීම හැරුනු කොට මේ මිනිසුන් තුල පවතින විවිධත්වය හා විචිත්‍රත්වය කෙරෙහි මා බෙහෙවින්ම ඇලුම් කරමි.

මරණය හා ජීවිතය ගැන මිනිසුන් තුල පවතින විවිධාකාර දෘෂ්ඨීන් හා මතවාද දෙස මෙසේ බලා සිටින විට මා තුල ඒ ගැන පවතින ආකල්පයද විමසා බැලීමට මාහට අවස්තාව උදා වෙයි.
සෑම මිනිසෙක්ම බොහෝ විට ජීවිතය කුමක්දැයි හෝ මරණය කුමක් දැයි සිතන්නට පෙළඹෙන්නේ තමන් හෝ තමන්ගේ සමීපතමයෙකු මරණයට පත්වුවහොත් හෝ අසාධ්‍ය වූ විටය. එසේ සිතන විට ඔහුට ඔහුගේ පුද්ගලික අත්දැකීම් හෝ සමාජීය සංස්කෘතික බලපෑම් වලින් මිදීමේ අවකාශයක් උදා නොවෙයි. මේ බලපෑම් හේතුවෙන්ම ඔවුන්ට ජීවිතය හා මරණය අතර පවතින යථා සබැඳියාව ගැන අවබෝධයක් ලැබිය නොහැකි වෙයි. යම් හෝ අවබෝධයක් ලැබූවද කල් යත්ම තමා පෙර සිටි තැනටම තල්ලුවන්නේ මේ බලපෑම් හේතුවෙනි.

මරණය හා බැඳුනු වියෝව ඉතා වේදනාකරීය. එය කාටත් පොදු වේදනාකාරී අත්දැකීමකි. නමුත් මේ වේදනාවේ ප්‍රමාණය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන්නේ ඔවුන් ජීවිතය හා මරණය කෙරෙහි දක්වන ආකල්ප මතය.
ජීවත් වන සැවොම මිය යති. එහෙත් ඉන් අති බහුතරය ජීවත් වන්නේ තමන් මිය නොවන්නවුන් යන ආකල්පය මතය. සැබවින්ම එය ආකල්පයක්ද නැතිනම් සිහිනයක්ද යන්න මට ගැටලුවකි. මන්ද විටෙක ඔවුන් එම සිහිනෙන් අවදි වන අතර නැවතත් එම සිහිනයම දකින්නට පෙළඹෙති. මා මෙය සිහිනයක් යැයි සිතන්නේ ජීවත් වන කා අසලත් සිටින මරණය නොදැක සදා ජීවත්වන්නන් සේ සැවොම හැසිරෙන බැවිනි.

දුප්පත්-පොහොසත්, අඩු කුල-ඉහල කුල, උගත්-නූගත්, යහපත්-අයහපත්, ලස්සන-අවලස්සන, වාසනාවන්ත-අවාසනාවන්ත ආදී මෙකී නොකී විවිධත්වයන්ගෙන් හෙබි අයවලුන් අසාධ්‍ය වී මෙතැනට පැමිණෙති.
ඒ සැවොම විඳිනා දුක එකාකාරමය. ඔවුන් සැවොම මුහුණ දෙන මරණය එකාකාරමය. සැවොම මරණය ඉදිරියේ සමාන වෙති.
තමන් පිරිවරා මහා සෙනඟක් සිටියත්, තමන් හුදකලාව විසුවත්, මරණයට මුහුණදිය යුත්තේ තනිවමය. ඒ සැවොම තමන් ‍රැස් කල සියල්ල පසෙක ලා ජීවිතය හැර යති.

තැවෙමින්, දැවෙමින් , එකිනෙකා පරයායමින් මේ කෙටි ජීවිත කාලය මිනිසුන් ගත කරති. තමන් ‍රැකෙන්නට , තමන් උසස් වන්නට, තමනට ‍රැස් කර ගන්නට මිනිසුන් කොතරම් වලිකන්නේද? අනුන් පෙලන්නේද ? ඒත් ඒ කිසිදු මොහොතක ඒ සියල්ලෙහි ඇති නිෂ්ඵලත්වය බහුතරයකට නොතේරේ. එසේ තේරුනි නම් මේ ලොව මීට වඩා කෙතරම් සුන්දර වනු ඇත්ද?


වරෙක මට, මා මරණයේ දොර‍ටුපල්ලෙකැයි සිතේ. එසේ සිතෙන්නේ, මිනිසුන්ගේ ජීවිතය මරණය සොයා යන ගමනේ අවසන් දොර‍ටුව මුරකරන්නෙකු ලෙස මා සිටින බැවිනි.
මේ දොර‍ටුව කරා පැමිණ ඉන් නැවත හැරී ගිය හා දොර‍ටුවෙන් නික්මගිය මිනිසුන් හා ඔවුන්ගේ ලබැඳියන් ඇසුරෙන් මා ජීවිතයට උගෙන අවබෝධ කරගත් පාඩම ගැන මා ඔවුන්ට කෘතවේදී වෙමි.

ඒ අප කවුරුත් මැරෙන බවය.

එය කොතරම් සරල දෙයක්ද ?
ඒ සරලත්වය හේතුවෙන්ම අප බොහෝ දෙනෙකුට එය නොතේරේ.
ඒ නොතේරුම්කම නිසාම අප කවුරුත් අමරණීය මිනිසුන් ලෙස ජීවත් වන්නට
තනමු.

එනිසාම අප දිනපතාම මැරි මැරී උපදිමු.
විටෙක මමද එසේමය............

ඒ මට හිතෙන හැටිය................