Thursday, September 24, 2009

සිහින සමාජයක බලදේව බලු වෙයිද ?

දිනය; සැප්තැම්බර් 24, වසර 2009, බ්‍රහස්පතින්දා දිනයක්,

සිත් දින පොතෙන් බ්ලොග් දින පොතට සටහන් අංක 13

සිහින සමාජයක බලදේව බලුවෙයිද ? .................................

අපි කවුරුත් සිහින දකිමු.
සිහින අතුරින් සුන්දර සිහින දකින්නට කවුරුත් රිසි වෙති.

සිහිනයත්, යතාර්ථයත් අතර ඇති සබැඳියාව, සිහිනයේ සුන්දරත්වය හෝ භයංකාරත්වය තීරණය කරයි.

සිහිනයත් යතාර්ථයත් දුරස් වත්ම, සිහිනයෙන් මිදුනු කල ඇති වන භයංකාරත්වය හෝ අප්‍රසන්නතාවයද වැඩිවේ.

සිහින තමන්ටම මවා ගත හැක.

එසේම තවත් අයවලුන් විසින් සිහින මවා ඒවා වෙනත් අයට බැලීමට සැලැස්විය හැක.

ඒවා බලන ඇතැමුන් ඒවා තුල ජීවත් වන්නට පෙළඹේ.

ජනමාධ්‍යය, ජන සමාජයක් තුල සිහින මවන්නාවූ ප්‍රබලතම මාධ්‍යයකි.
මාධ්‍යයෙන් මැවිය යුතු සිහින තීරණය කරන්නේ මාධ්‍යයේ පැවැත්මෙහි ප්‍රබල සාධකයක් වන වෙළඳ ව්‍යාපාරයි.

අත දිග හැර වියදම් කරන පාරිභෝගික ජීවන රටාවක් සහිත ජන සමාජයක් මේ සිහින තුලින් බිහි කිරීම ඔවුන්ගේ අරමුණයි.
ඒ, එය ඔවුන්ගේ පැවැත්මෙහි ප්‍රධානතම සාධකය වන නිසාවෙනි.

ඔවුන් විසින්යතාර්ථයෙන් දුරස් වූ සිහින ලොවක් තුල ජීවත් වන සමාජයක් කරා වත්මන් පරපුර දැනටමත් රැගෙන ගොස් හමාරය.

මේ සිහින සමාජයේ මායිම්, නිම්නයන් ලකුණු කරන්නේද, අවශ්‍යතාවයන් තීරණය කරන්නේද ඔවුන් විසිනි.

මේ සිහින සමාජය තුල මිනිසෙකුගේ වටිනාකම එසේත් නැති නම් ඔහුට ලැබිය යුතු ගෞරවය බොහෝ විට තීරණය වන්නේ ඇඳුම මතය, නොඑසේනම් බාහිර පෙනුම මතය.

පිටින් බැලූ විට ඉතා හොඳින් ඇඳ පැළඳ සිටී නම් ඔහු වැදගත් මහතෙකි, නැතිනම් නෝනාමහතෙකිය.

ඒ,මේ සිහින ලොව තුල වැදගත් කමේ නිර්ණායකය, භාහිර පෙනුමට සීමාකර තිබීම නිසාය.

මිනිසෙකුගේ ආත්ම අභිමානය සඳහා බලපාන්නාවූ සාධක අතුරින් පහලින්ම ඇති සාධකයක් වන බාහිර පෙනුම ඔවුන් විසින් මෙතරම් ඉහලින් තබා ඇත්තේ, එය පවත්වා ගැනීම සඳහා ඒ හා සබැඳි භාණ්ඩ හා සේවාවන් රාශියක් පරිභෝජනය කල යුතුව ඇති නිසාය.

එය ඉතා ලාබදායී ව්‍යාපාරයකි.

අද වෙළඳ පොලේ ඇඳුම් ආයිත්තම් වල මිල ගණන්, ඒවායේ සැබෑ නිෂ්පාදන වටිනාකමට වඩා ඉතා ඉහලය.

කීය කිව්වත් මේ සඳහා වියදම් කරන්නට මිනිසුන් සෑදී පැහැදී සිටින්නේ තම ආත්ම අභිමානය එතරම්ම තමනට වැදගත් වන නිසාය.
එමෙන්ම මේ සිහින සමාජය තුල ඕනෑම අයෙකුට අත පය දිග හැර වියදම් කර මනා බාහිර පෙනුමක් ලබාගැනීමෙන්, වැදගතෙකුගේ චරිතයට අවතීර්ණ විය හැකි නිසාය.
මේ නිසාම බහුතරයක් තම වැටුපෙන් විශාල කොටසක් ඇඳුම් පැලඳුම් මෙන්ම රූපලාවන්‍ය කටයුතු සඳහාද වැය කරන්නේ රූපය හෝ සුන්දරත්වය ඉස්මතු කිරීම උදෙසා පමණක්ම නොව, වාණිජත්වය විසින් තනා දී ඇති නිර්ණායකයන්ට අනුව ආත්ම අභිමානය හා බැඳි තම වැදගත්කම රැකගැනීම උදෙසාය.

මෙහි බොහෝදෙනෙකුට වසන්ව ඇති සත්‍යය වන්නේ, තම වැදගත්කම හෝ ආත්ම අභිමානය, එතරම්ම වැදගත්කමක් නැති භාහිර පෙනුම හා සම්බන්ධ කර තනා ඇති සිහින නිර්ණායකයයි.

මෙය මෙතැනින් නොනවතී.

තවත් මූලික අවශ්‍යතාවයක් වන ආහාරද මෙවන්වූ සිහින නිර්ණායකයන්ට හසුව ඇත.

වැදගතුන්ගේ බොජුන්හල් දසත පැතිර ඇත.

ඉතින් ඇතැමුන් මේවායෙහි රිංගන්නේ බඩපිරෙන්නට යමක් කෑමට වඩා තම තත්වය පවත්වාගැනීමටය.
බඩපිරෙන්නට මේවායින් කෑමට තරම් වත්කමක් බහුතරයක් වන පහල මධ්‍යම පංතිකයින්ට නැත.

ඉතින් ඔවුන් මේවායෙහි ගොස් යන්තම් ලෙව කා එති.

තම පාරිභෝගිකයන්ගෙන් බහුතරයක් වන, පහල මධ්‍යම පන්තික මේ ලෙව කන්නන්ගෙන් හොඳ ලාබයක් උපයා ගන්නට මේ වෙළඳුන් සමත් වෙති.

මන්ද, යන්තම් මස් කටු කෑල්ලක් හා අල පෙති කිහිපයකින් සමන්විත වන අඩුම මිල ආහාරය රුපියල් දෙසීයද ඉක්මවන බැවිනි.

උපන් දිනය ,විවාහය, වැනි ජීවිතයේ වැදගත් සැමරුම් සියල්ලන්ටම මේ සිහින නිර්ණායක පැනවී ඇත.

මෑතක සිට විවාහ උත්සවය හින්දි සිහින චිත්‍රපටියක් හා සමව පවත්වනයුරු, ඒ සඳහාම වෙන්වූ රූපවාහිනී වැඩසටහන් වලින් ඉදිරිපත් කරයි.
මේවා සියල්ල අංග සම්පූර්ණ විවාහ උත්සවයන්ය.
මෙවන් උත්සව පැවැත්විය හැක්කේ මුලු ජන සමාජයෙන් සියයට දහයකටත් අඩු පිරිසකටය.
එසේ වුවත් මේ සිහින ලොව තුල අතරමං වන තරුණ තරුණියන් තම අතේ හැටියට නොව හිතේ හැටියට වියදම් කර තම විවාහ උත්සවය පවත්වන්නට ගොස් හතර අතේ ණය වෙති.

ගමේ ගොඩේ ගිනි පොලී කාරයාගේ කාර්‍යබාරය ඉටුකරන වැදගතෙක් මේ සිහින සමාජය තුල සිටී.

ඒ ක්‍රෙඩිට් කාඩ් එකය.

“හිතේ හැටියට වියදම් කර පසුව ගෙවන්න”.ඒ එහි තේමාවයි.

ගෙවන්න බැරි වන විට ක්‍රෙඩිට් කාඩ් එකේත් ගිනි පොලී කාරයාගේත් වෙනසක් නැත. දෙකටම ඇත්තේ එකම ගිනි පොලියකි.

ක්‍රෙඩිට් කාඩ් එකක් භාවිතය ලොකු කමක් ලෙස සලකන චින්තන රටාවක්,එය හඳුන්වා දීමේදීම ඇති කෙරුනි.
ඇත්තටම එහි ප්‍රයෝජනය අභිබවා, මේ ලොකුකම ඉහට ගත් බහුතරය අද ස්ථාවර ණයකාරයන් බවට පත්ව ඇත.


බොහෝ විට සරල බව හා චාම් බවින් යුක්ත වුවන් මේ සිහින සමාජය තුල සලකන්නේ ගොඩයන් ලෙසය.

අතේ ඇති හැටියට, අරපරිස්සමින් වියදම් කිරීම සලකන්නේ ලෝබ කමක් ලෙස හෝ දුප්පත් කමක් ලෙසය.

නොවටිනාකම්, වටිනාකම් ලෙස අගයන , අනාගතයට හෝ හදිසියකට ඉතිරියක් නැති, සෝබනකාර, ස්ථාවර ණය කාරයිගෙන් මේ සිහින සමාජය පිරී ඇත.

ඔවුන් අනුන් තැනූ මේ සිහින ලොව තුල ජීවත් වෙමින් තමන්ගේ අත ඇති තුට්ටු දෙක මේ සිහින ලොවේ නිර්මාපක ධන කුවේරයන්ගේ සාක්කුවට දමති.
සුන්දර හීනයක් තුල ජීවත් වන බැවින් ඒ ගැන හිතට දුකක්ද නැත.

හීනෙන් අවදිවන්නේ අතේ සතේ නැතිවූදාටය.
එසේ වුවද අබිං කෑ එකා මෙන් හීන ලෝකයෙන් ඔවුනට මිදීමක් නැත.
තව තවත් ණය වී හෝ සන්තක දෙයක් විකුණා හෝ සොරකම් කර හෝ පිටරටකට ගොසින් හෝ නැවතත් මේ සිහින ලොව තුලට උන් රිංගති.

තමන්ගේ හීන ලෝකයක් තුල ජීවත් වූවානම් තව කම් නැත.
මේ ඔවුන් ජීවත් වන්නේ අනුන් සෑදූ සිහින ලොවක් තුලය.

මෙවන්ම වූ සමාජයක, එදා, යශෝරාවයේ බලදේව බලු නොවින.

එහෙත් අද, මේ සමාජයේ බලදේවලා බලු වෙයිද?

බලදේව චින්තනයෙන් පෝශිත, එදා අතුරුදහං වූ පොඩ්ඩා, හෙටවත් මේ සමාජයේදී හමුවේවිද?

එසේ නොවුනෝතින් බලදේවලාගෙන් පසු ඒ චින්තනය මේ සමාජයෙන් අතුරුදහන් වනු ඇත.

ඒ මට හිතෙන හැටිය.

Wednesday, September 23, 2009

සංසාරේ හැටි තමා......වියෝග ඇතිවන්නේ.........

දිනය; සැප්තැම්බර් 23, වසර 2009, බදාදා දිනයක්,

සිත් දින පොතෙන් බ්ලොග් දින පොතට සටහන් අංක 12

සංසාරේ හැටි තමා.......... වියෝග ඇති වන්නේ.................

අවශ්‍යතාවයක් සඳහා අද කලා පීඨයට ගිය විට, එහි දැන්වීම් පුවරුවක අලවා තිබූ කපුගේ සමරු ගී ප්‍රසංගයක් පිළිබඳ දැන්වීමක් දුටිමි.

කපුගේ මහතා මිය ගොස් වසර ගණනාවක් ඉක්ම ගොස් ඇතත්, ඔහුගේ කටහඬ, තවමත් අප සිත් තුල, ඔහුව ජීවත් කරන්නට සමත්ව ඇත.

ඔහුගේ ගීත වලට ප්‍රියකරන විශාල රසික පිරිසක් සිටිති.

මිය යන්නට ටික කලකට ප්‍රථම, ඔහු පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ටික දිනක් නතරව සිටියේය.

එකල අප අවසන් වසරේ අධ්‍යයනය ලබමින් සිටියෙමු.
ඒ දිනවල අපගේ සායනික අධ්‍යයන කටයුතු කෙරුනේද ඔහු නතරව සිටි වාට්ටුවේමය.

ශික්ෂණ රෝහලක සායනික අධ්‍යයන කටයුතු කෙරෙන වාට්ටුවකට රෝගියෙකු ඇතුලත් වූ පසු, එම රෝගියා වෙනුවෙන් වෛද්‍ය ශිෂ්‍යයෙකු අනුයුක්ත කරනු ලබයි.

අදාල වෛද්‍ය ශිෂ්‍යයා එම රෝගියා වාට්ටුවට ඇතුලත් වූ මොහොතේ පටන් රෝහලෙන් නික්ම යන මොහොත දක්වා, දිවා රාත්‍රී සිදුවන සියලු වෛද්‍ය ප්‍රතිකාර, පරීක්ෂණ සඳහා සහභාගී විය යුතුය.
ඒ නිසාම, රෝගියාගේ රෝග ඉතිහාසය, ඊට අදාල සමාජ වටපිටාව හා පෞද්ගලික තොරතුරු වල සිට රෝග විනිශ්චය, කෙරෙන ප්‍රතිකාර විධි ක්‍රම, පරීක්ෂණ හා ඒවායේ ප්‍රථිපලද, ප්‍රතිකාර සැලසුම පිළිබඳවද මනාවූ අවබෝධයකින් ඔහු සිටියි.

බොහෝ විට මේ නිසා රෝගීන්ට සෑම අවස්ථාවකම, තමා අසලින්ම හිඳින දැනුවත් මිතුරෙක් බවට මේ වෛද්‍ය ශිෂ්‍යයින් පත්වෙයි.

කපුගේ මහතා වෙනුවෙන් අනුයුක්ත වූ වෛද්‍ය ශිෂ්‍යයා වූයේ, මා මිතුරු දිනේශ්ය.
කපුගේ මහතා රෝහලට ඇතුලත්ව ඇතැයි දැනගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙන්ම කාර්‍ය මණ්ඩලයේ බොහෝදෙනාද ඔහු බැලීමට පැමිණියහ.
එහෙත්, එය ඔහුට බාධාවක් නොවනු පිණිස, විටෙක අමුත්තන් සීමා කිරීමටද සිදු විය.
කෙසේ වෙතත් දිනේශ්ට නම් කිසිදු බාධාවකින් තොරව ඔහු හා දොඩමලු වීමට අවස්ථාව ලැබුණි.

අප කණ්ඩායමේ එකා දෙන්නා, දිනේශ්ද සමඟ වරින් වර කපුගේ හමු වන්නට යන්නේ, ඒ අප බොහෝ දෙනාගේ ප්‍රියතම ගායකයන් අතුරෙන් දැවැන්තයෙකු වන ඔහු සමඟ, වචනයක් හෝ දොඩමලු වීමට ඇති ආශාව සංසිඳුවා ගැනීමටය.

මාධ්‍යයෙන් හා ඔහුගේ ගීත ඇසුරෙන් ඔහු පිළිබඳව ගොඩ නැඟී ඇති මහා ප්‍රතිරූපයට වඩා සැබෑ ජීවිතයේදී ඔහු ඇසුරේදී, ඔහු අප අතර ජීවත් වන ඉතා සරල සාමාන්‍ය මිනිසෙකු බව, ඔහු හා කෙටි හෝ පිළිසඳරක යෙදුනු අප කාගේත් මතය විය.

ඔය ආකාරයට අපගේ අජිත් මිතුරාද ඔහු හමු වීමට ගියේ, ගුවන් විදුලියෙන්, රූපවාහිනියෙන් ඇසූ දුටු තම ප්‍රියතම ගායකයා හැබැහින්ම දැක, වචනයක් දෙකක් කථා බහෙහි යෙදීමටය.

ඔහු දුටු සැනින් සිත් පිනා ගිය අජිත්, සංවාදයට ඇරඹුමක් සොයන්නට විය.
කපුගේටත් තමන්ටත් පොදුවූ මාතෘකාවක් ලෙස ගීතයක් ඇසුරෙන්ම කතාව ඇරඹීමට සිතූ අජිත්,

“කපුගේ මහත්මයා, ඔබ මගේ ප්‍රියතම ගායකයා, ඔබ හමු වීම මට මහත් සතුටක්.
ඔබේ ගීත අතුරින් මා වඩාත් ප්‍රියකරන්නේ....අ....අ....ප්‍රියකරන්නේ....අ.....හන්තානේ කඳු මුදුන සිසාරා...ගීතයයි.”

එය අසා සිටි කපුගේ,

ඇත්තටම ඔබවන්වූ රසිකයින් හමුවීම මටද සතුටක්, ආඩම්බරයක්.මමත් ඒ ගීයට බොහෝ ප්‍රිය කරනවා.
ඒත්........ ඒ ගීතය ගායනා කරන්නේ මම නම් නොවෙයි.... අමරදේව මහත්මයා.

එවිටම උලලේනෙකු හඬනු ඇසුනු අජිත්ට, අනේ මේකා මීට කලින් ඇඬුවා නම් යැයි කියවින.

මහත්තයෝ , ඕක, සංසාරේ හැටි තමා........කියා කපුගේ තාලයට කියූ බව, එකල අපේ කැම්පස් පුරාවෘත වලටද ඇතුලත් වූ මෙම සිදුවීමෙහි සඳහන් විය.

කපුගේ වාට්ටුවෙන් නික්ම යන දිනයේදී අප ඉල්ලීම හේතුවෙන්, කාටත් බාධාවක් නොවන ලෙස ගීත කිහිපයකින් අපව රසවත් කිරීමටද අමතක නොකලේය.

ඊට මාස කිහිපයකට පසු ඔහුගේ මරණය සැලවූ අපට ඇති වූයේ මහත් වේදනාවකි.

තම කටඬෙන් විශාල ජන පිරිසකගේ සිත් තුල හැඟුම් මතු කල ඒ ගායකයා සදහටම නිහඬවිය.

ගීතයක පද මාලාවෙන් මැවෙන්නාවූ චිත්තරූපයට ජීවයක් ලබා දෙන්නට සමත් වූ ඒ කටහඬ සදා නිහඬ වී ඇත.

ගීත ක්ෂේත්‍රයට අහිමිවන මෙවන් දක්ෂයින්ගේ අඩුව සපුරාලනුවස්, අහිමිවන වේගයට සාපේක්ෂව දක්ෂයින්ගේ සම්ප්‍රාප්තියෙහි ඇති ඌනතාව කෙතරම් ඛේදනීයද?

ඒ මට හිතෙන හැටිය.

Sunday, September 13, 2009

මං වයසට ගිහිල්ලා

දිනය; සැප්තැම්බර්13,වසර 2009,ඉරිදා දිනයක්,

සිත් දිනපොතෙන් බ්ලොග්දින පොතට,සටහන් අංක 11

මං වයසට ගිහිල්ලා..................................

රූපවාහිනිය මත තබා ඇති එහි දුරස්ථ පාලකය මත මකුලුවෙකු දැලක් බැඳ තිබුණි.

මාගේ රූපවාහිනී යන්ත්‍රය ඇත්තේ මාගේ නිදන කාමරය තුලය.
එසේ තබන්නට හේතුව හුදෙක්ම ඇඳට වී ඉතා සැහැල්ලුවෙන් එය නැරඹීමය.

කාර්‍යබහුල දිනයක සියලු වැඩ අවසානයේ ඉතා සැහැල්ලුවෙන් අඩ නිද්‍රාගතව ඒ දෙස බලා හිඳීම අමුතුම ආකාරයේ ආශ්වාදයක් ගෙන දෙන්නකි.

මේ පුරුද්ද ඇතිවුනේ සෑහෙන කලකට ඉහතදීය.එකල ඇතැම් විට රූපවානිය නරඹමින්ම නින්ද යයි.
විඩාබර සිතට සතුටක් හා විවේකයක්ද ,අලුත් දැනුමක් හෝ අලුතින් හිතන්නට යම් නිමිත්තක්ද මතු කරමින් එකල වැඩසටහන් දිග හැරුනි.

මකුලු දැලද ඉවත් කොට රූපවාහිනිය මත ඇති දුහුවිල්ලද පිස දමමින් මා සිතුවේ හුඟ කලකින් රූපවාහිනිය නැරඹීමට නොහැකිවූ බවය.

සවස සේවා මුරය සඳහා රෝහලට ගිය මා, ටිකක් වේලාසනින් එහි ගොස් තිබූ නිසා, විවේක කාමරය වෙත ගියේ කහට කෝප්පයක රස විදීමටය.

මිතුරෙකුත් සමඟ කතාබහෙහි යෙදෙමින් එහි සිටින අතර තුර එහිවූ රූපවාහිනියේ නන්දා මාලිනී විසින් ගයනු ලබන “සුළං කපොල්ලේ” ගීතය විකාශනය විය.
ඉබේටම වාගේ මට කියැවුනේ, අනේ, මේ වගේ ගීත තවමත් විකාශනය වෙනවා නේදැයි? කියාය.

ඒත් සමඟම අප කතාබහේ මාතෘකාවද රූපවාහිනිය වෙතට යොමුවිය.

ඔහුට මා පැවසුවේ බොහෝ කලකින් මා රූපවාහිනිය නැරඹුවේ නැති බවය.

එය නැරඹීම කාටවත් බාධාවක් වන බැවින්, එය නරඹන්නට එපා කියා කවුරුවත් කීවේවත් නැත.
නැරඹීමට මා හට ඕනෑතරම් කාලයද තිබිණ.
එහෙත් ඇයි මා මෑතක සිට රූපවාහිනිය නරඹන්නේ නැත්තේ?

මට දැන් බලන්න හිතෙන්නේ නැහැ... මම කීවෙමි.

හිතෙන්නේ නැති වන්නට හේතුව කුමක්ද? ඔහු විමසීය.

මමද ඒ ගැන එතරම් සිතා නොතිබිණ.
මේ ඒ ගැන විශ්ලේෂනය කිරීමට හොඳම අවස්ථාව යැයි හැඟුනු නිසා, ඔහුත් සමඟ එක්ව එයට හේතුවක් සොයන්නට වීමි.

යමක් බලන්නට හිතෙන්නේ, එහෙමත් නැතිනම් ආශාවක් උපදින්නේ, එමඟින් තමනට, යම් හෝ වින්දනයක් හෝ රසයක්, එසේත් නැතිනම් ප්‍රයෝජනයක් ලැබෙන්නේ නම් පමණි.
එසේ නම්,එයින් නිගමනය වන්නේ දැන් විකාශනය වන වැඩසටහන් වලින් මා හට එවන් වූ වින්දනයක්, රසයක් හෝ ප්‍රයෝජනයක් ඇති වන්නේ නැති බවය.

ඒ ඇයි ?... මිතුරා විමසීය.

ගීත නම් ගන්නට දෙයක් නැත.
සමහර ගීත වල තේරුම තියා ශබ්ද රසයවත් නැහැ.
ඔක්කොම ගීත රැප් වෙලාය. පොප්-හිපොප් වෙලාය.
ගීතයේ අර්ථය එක දිහාවකට ගලාගෙන යයි. රූප රචනාව තවත් කොහේදෝ දිහාවකට ගලාගෙනයයි.

ටෙලි නාට්‍යයද වැඩැක් නැහැ.
ගොඩක් ඒවායේ තියෙන්නේ එකම කථා තේමාවය.
වෙනස් වන්නේ චරිත වල නම් ගම් පමණය.
බොහෝ නාට්‍යය එක තැන පල් වෙයි.
සති ගණනකට පසුව බැලුවත් කිසිදු ප්‍රශ්ණයක් නැත. අතර මැද කතාව තමන්ටම ගොතාගත හැක.
ඒවා තුල හිතන්නට යමක් ඇත්තේම නැත.
කතා ඔහේ ගලාගෙන ගලාගෙන යයි.
හරියට ගඟක් ගලාගෙන ගලාගෙන ගිහිල්ලා මුහුදට වැටෙනවා වාගේය.

හාස්‍ය උත්පාදක නාට්‍ය බොහොමයක් ඇත.
ඒවායින් උපදින්නේ හාස්‍යයට වඩා ජුගුප්සාවය.

බොහෝ නලු නිළියන්ගේ රඟ පෑමද එසේමය.
ඔවුන්ගේ අභිනයන්, චරිතයේ හැඟීම් කිසිවක් උත්පාදනය කරන්නේ නැත.
ඇතැමුන් හරියට ප්‍රවෘත්ති නිවේදකයන් වාගේය.
ඔහේ දෙබස් කියයි.

විමර්ශණාත්මක, පර්යේශණාත්මක වැඩසටහන් නැතුවාම වාගේය.

ටික කලකට ඉහතදී, ඇතැම් චැනල හරියට බාල ඝනයේ යුධ චිත්‍රපටි වාගේය.
උදේ සිට රෑ වෙන තුරුම යුද්ධයය.
එකම ප්‍රවෘත්තිය එකම දවසේ විකාශනය වන වාර ගණන ගිනිය නොහැකි තරම්ය.
එයට වඩා කෙතරම් නිර්මාණශීලීව යුද්ධය වුවත් ඉදිරිපත් කරන්නට තිබුනාදැයි සිතුනු වාර අනන්තය.

බල්ලන්ට මැක්කන් බෝවන්නා සේම හැම චැනලකම SMS වැඩසටහන්ය.
ඇතැම් චැනල වල ඒවා උතුරා දෝරෙ ගලා යයි.

ප්‍රවෘත්තිද ඒ ආකාරමය.
දැන් එක එක මාතෘකා ඔස්සේ ප්‍රවෘත්ති කියයි.
ගම ගැන, රට ගැන, සංවර්ධනය ගැන, අපරාධ ගැන, ලෙස ඕනෑම විදියේ මාතෘකාවක් දාගෙන, ඒකට ඉස්සරහින් රූප රචනාවක්ද දාගෙන, ඒකට අනුග්‍රාහක භවතෙක්ද සොයාගෙන ඉදිරිපත් කරයි.
ඔය ඔක්කෝම කරත් හිතන්නේ නැත්තේ අන්තර්ගතය ගැනයි.
සමහර ප්‍රවෘත්ති වල අන්තර්ගතය‍ නිකම්ම නිකං පුස්සකි.
ඇතැම්විට ප්‍රවෘත්තියක් කියලද හිතාගන්නවත් බැහැ.
සමහරු එලිසමයට ප්‍රවෘත්ති කියයි.
ප්‍රවෘත්තියට අර්ථ කථන සපයයි.

ඒ ප්‍රවෘත්ති ගැනය.

උදේට එකෙක් පත්තර කියවන්න ගත්තහම අනෙකුන් ඔක්කෝම පත්තර කියවයි.
පැය ගණන් කියවලා කියවලා හති වැටෙනකම්ම කියවයි.

ඊට පස්සේ, මුණ හෝදයි, මේකප් දමයි, ව්‍යායාම කරයි, කෑම හදයි,ඒවා කයි,කේන්දර බලයි,ඊට පස්සේ සෞඛ්‍ය පාඩම, දවල් බත් කන වෙලාවෙ නොදිරවන ගීත,හවසට කමකට නැති කාටූන් නැත්නම් ළමා ගීත, ඇතැම් ඒවා නම් ළමයින්ටද වැඩක් නැතිවාසේය.
එයින් ඔබ්බට ගිය ළමා වැඩ සටහන්ද නැත.

ඔය ඔක්කොම මැද්දේ අතරින් පතර වෙලාව මතක්කර දෙයි. ඒ අතරෙම එකම ප්‍රවෘත්තිය එක එක විදියට කෑලි කෑලි කියයි.

හැම චැනලයක්ම එක වාගේය‍.
හරියට නිවුන් සහෝදරියන් වාගේය.
විවිධත්වයක් දන්නේම නැතුවා සේය.

ඉතින් ඔන්න ඕවා තමයි හේතු....මම කීවෙමි.

බලද්දි ඕනෑවාටත් වැඩිය හේතු ගොඩයි.
මම හිතන්නේ උඹ මහ සර්ව අසුභවාදියෙක්!.... මිතුරා කීවේය.

මටත් එහෙම හිතෙනවා.මම කීවෙමි.
ඒත්, එහෙමනම් මම ඇයි ඕවා ඉස්සර කිව්වේ නැත්තේ?

ඇයි?..........

ඒ, ඒ කාලෙ වැඩසටහන් මීට වඩා හොද නිසාද?
කලකට ඉහතදී ගිජු ලෙස රූපවාහිනිය නැරඹූ මා අද එසේ නරඹන්නේ නැත්තේ, පෙර වැඩසටහන් වලින් මා ලද රසය අද විකාශනය වන වැඩසටහන් වලින් මා හට ලැබෙන්නේ නැති නිසාද?

ඒක එහෙම වෙන්න බැහැනේ.
ලෝකේ දියුණු වෙද්දි ඔය අංශයනේ මුලින්ම දියුණු වෙන්නේ.

ඒ නිසා මම අසුබවාදියෙක් වෙන්නනම් බැහැ,මම කීවෙමි.

මට මෙහෙම හිතෙනවා.
මෙතන තියෙන්නේ පරම්පරා ප්‍රශ්ණයක්.

ඒකිව්වේ,? මිතුරා ඇසීය.

ඒ කිව්වේ, මම වයසට ගිහිල්ලා...

මට මේ අලුත් පරමපරාවේ වැඩසටහන් දිරවන්නෑ. ඒකයි,

මොකද........, මම නොබැලුවාට කොච්චර දෙනෙක් තලු මර මර ඕවා බලනවාද?
එවා හොදයි කියනවාද?

ඔව්, උඹ වයසට ගිහිල්ලා මිතුරා කීය.

ඔව්..........,ඒ කියන්නේ මම වයසට ගිහිල්ලා..........!
පරම්පරා පරතරයකුත් ඇති වෙලා .......!

ඒ මට හිතෙන හැටිය.

Tuesday, September 8, 2009

අනියම් පෙම

දිනය;සැප්තැම්බර් 08, වසර 2009, අඟහරුවාදා දිනයක්,

සිත් දින පොතෙන් බ්ලොග් දින පොතට-සටහන් අංක 10

අනියම් පෙම...............................

පසුගිය දිනෙක නුවර ගිය විටෙක කැන්ඩි සිටි සෙන්ටර් එක හරහා ගමන් ගත්තේ ඊට යාබදව ඇති රථ ගාල වෙත යනු පිනිසය.

එදින,එහි පහත මාලයේ පෙරදිග වාදක කණ්ඩායමක් සංගීතයෙන් යන එන පිරිස රසවත් කරමින් සිටියහ.

කඩිමුඩියේ එතැන පසු කරමින් සිටියත්, මාගේ ගමන මොහොතකට නවතාලූයේ, එම තරුණ කණ්ඩායමේ මධුර මනෝහර ගායන හා වාදන විලාශයයි.

කී බෝඩය, වයලීනය හා තබ්ලාව ඔවුන්ගේ වාදන භාණ්ඩ විය.

මොහොතකට පමණක් නතර වූවත් මටත් හොරා කාලය ගතව තිබුණු බව වැටහුනේ ගීත තුනක්ම ශ්‍රවණය කිරීමෙන් අනතුරුවය.
එතරම්ම ඔවුන්ගේ ගායනය හා වාදනය මිහිරිය.

හුරුපුරුදු මුහුණු හතරක් වුවත් ඔවුන් කවුදැයි හරියටම හඳුනා ගැනීමට නොහැකි විය.

දැහැන් බිඳ එතැනින් නික්ම යන්නට පෙර කරුණාරත්න දිවුල්ගනේ මහතාගේ මා ප්‍රිය කරන “ගහක මල් පිපිලා” ගීතය ගයන ලෙස කල ඉල්ලීම ඔවුන් සතුටින් ඉටු කලහ.

මේ ගීතය අසන හැම විටෙකම සරල වූ වදන් පෙලක් ගලපමින් ගැඹුරු වූ අර්ථයක් සරලව ඉදිරිපත් කිරීමට යමුනා මාලිනී පෙරේරා දක්වා ඇති දස්කම ගැන ප්‍රශංසනීය හැඟීමක් ඇතිවේ.

සොබාදහමේ වූ සංසිද්ධියක් සොබාදහමේම උපහැරන භාවිතයෙන් ඇය අපූරුවට ලියා ඇත.

ගැහැනියක හා පිරිමියෙකු අතර ඇතිවන ප්‍රේමය නියම හා අනියම් ලෙස බෙදන්නට සමාජය උත්සාහ කලත්, ප්‍රේමය ප්‍රේමයම වනු මිසෙක එහි නියම්-අනියම් බවක් ඇති නොවනු ඇත.
ඒ නිසාම අව්‍යාජ ප්‍රේමයට තහනමක් නොවනු ඇත.

කතරෙ වැලි කැට හිරුට පෙම් බැඳ ඇතත් ලෝ දහමින්
සොඳුරු වැස්සට දැවෙන කතරත් ආදරෙයි පණ මෙන්
ලොවට නොපෙනෙන අරුම සෙනෙහස ඒවගෙයි මනරම්
කරනු බැරි තහනම් ..........


හිරු හා බැඳෙමින්, දැවෙමින් එයට පෙම් බඳින කතරක්, එයට සිසිල ගෙන දෙමින් වහින වැස්සටද පණ මෙන් ආදරය කරයි.
මෙය අරුම වූ ආදරයකි.
මේ ප්‍රේමයේ අව්‍යාජත්වය ලෝකයාට නොපෙනුනත් එය වලකාලනු නොහැක.
එය තහනම් කරනුද නොහැකිය.

එලෙසම සමාජ සම්මතයන්ට අනුව විවාහික බැදීම හා ප්‍රේමය තුල වෙනත්
ප්‍රේමයකට ඉඩක් නොමැති වුවත්, එය තහනම් වුවත් සිතට සිසිලක් ගෙන දෙමින් ඇතිවන අව්‍යාජවූ එවන් ප්‍රේමයක් වලකාලන්නටද හැකි නොවනු ඇත.

සඳට සදහට සෙනේ පෑ මුත් උදුල තරු කැටයම්
හිරුට පෙම් බැඳි එකද තරුවක් සිටිය නොහැකිද යම්
නුඹට නොහැඟෙන මගේ ප්‍රේමය ඒවගෙයි මනරම්
පුදුම වෙයි නුඹ නම් .........

බොහෝ විවාහයන් තුල මෙවන් සබඳතා දැකිය හැකි නොවුනත් සුලු පිරිසක් අතර හෝ ලෝකයාට හොරා මෙවන්වූ ප්‍රේමයන් ඇති විය හැක.
එය හරියට රාත්‍රී අහසක සඳු හා බැඳුනු තරු බොහෝ දැකිය හැකි වුවත් දහවල හිරු ඇති විට එකදු තරුවක් නොපෙනුනද, සඳු හා පෙම් බැඳි තරු ගොන්නෙන් එකක් හෝ සැඟවී හිරුට පෙම් බැඳ සිටිය හැකිවා සේය.

ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමී
හිතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමී
නුඹට හිත බැඳුනේ කිමැයි මා තවම නොදන්නෙමී
නුඹට සිත බැඳි කාරණේ මම තවම සොයන්නෙමී


ඉතින් සිත් තුල මෙවන් වූ ප්‍රේමයන් හා බැඳීම් ඇති වන්නේ ඇයිද යන්න විග්‍රහ කල නොහැක්කේ, ගහක මල් පිපී සුවඳ දෙන්නේ ඇයිද යයි කිව නොහැක්කාසේය.

ඒ මට හිතෙන හැටිය.

Thursday, September 3, 2009

කෙටි චාරිකා හෙවත් short trips සහ අනංමනං

දිනය; සැප්තැම්බර් 03, වසර 2009, බ්‍රහස්පතින්දා දිනයක්

සිත් දින පොතෙන් බ්ලොග් දින පොතට සටහන් අංක 09

කෙටි චාරිකා හෙවත් short trips සහ අනංමනං.................

ලැබෙන විවේක අවස්ථාවන්හිදී ලඟ පාත ඇති සුන්දර හෝ යම් ඓතිහාසික වටිනාකමකින් යුතු ස්ථාන නැරඹීමට යාමට පුරුද්දක් ඇතිවූයේ විශ්ව විද්‍යාල සමයේදීය.

අප මෙවන් චාරිකා හැදින්වූයේ “short trips” යනුවෙනි.

එකල ඒ සදහා එක් වීමට ඕනෑම විටෙක සූදානමින් සිටි කුඩා මිතුරු කණ්ඩායමක් විය.
කාලය හා විවේකය ලැබෙන්නේ කොයි වේලේද එවන් අවස්ථාවන් බොහොමයක අප මේ ආකාරයට චාරිකාවේ යෙදුනෙමු.

මෙසේ ගියේ යම් දෙයක් නැරඹීමට හෝ යම් අත්දැකීමක් ලබාගැනීමේ අරමුණකින්ම නොව,බොහෝ විට අවිවේකී හා කාර්‍යයබහුලත්වයෙන් මිදී සිතට විවේකයක් සහ සහනයක් ලබා ගැනීමටය.

මෙම චාරිකා වල විශේෂත්වය වන්නේ,ගමන් ආරම්භයට වෙලාවක් අවේලාවක් හෝ පෙර සූදානමක් නොතිබීමය.

බොහෝවිට ගමන ආරම්භවන විටත් යන්නේ කොහේදැයි කිසිවෙකුත් නොදනී.

මාගේ කල්‍යාණ මිතුරු හා රූමා( නේවාසිකාගාරයේ එකම කාමරය බෙදා ගත් අනෙක් සගයා) වූ භාතිය, අප අවසන් වසරේ සිටින අවදියේදී, ඔහුගේ නිවසෙහි තිබූ ඩැට්සන් වර්ගයේ පැරණි මෝටර් රථය ගෙන ආවේ ගමනේ පහසුව හා කාලය ඉතිරි කර ගැනීමේ අටියෙනි.

එකල අප සිටියේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ “මාර්ස්” ශාලාවේය.
එය පිහිටියේ උස් ස්ථානයකය.එබැවින්ම එයට යාමට තරමක කන්දක් හා පඩිපෙලක් නැඟීමට සිදුවේ.

උදෑසන හත හමාරට පමණ දේශණ හා සායනික කටයුතු සඳහා පිටත් වන අප බොහෝ විට නැවතත් නේවාසිකාගාරයට පැමිණෙන්නේ රාත්‍රී නවයත් පසුවීය.
ඒ වන විට හොඳ පණ පහව ගොසිනි.

ඒනිසාම බොහෝදෙනෙකු අඩුම තරමින් බයිසිකලයක්වත් භාවිතයට පෙලඹුනේ එසේ නොමැතිව ඉතිරි පණ ටිකෙන් “මාර්ස්” දුර්ගය ගෙවා දමන්නට අපහසු නිසාය.

භාතියගේ මෙම වාහනය අපගේ එදිනෙදා ගමන් කටයුතු සඳහා පහසුවක් හා උපකාරයක් වූවාට අමතරව, අපගේ සුපුරුදු චාරිකා සඳහාද නිළ වාහනය බවට පත් වූයේ ඉබේටමය.

එය අපූරු වාහනයකි.වාහනය පැරණි වුවත් එන්ජිමෙහි නම් කිසිදු ආබාධයක් නැත.
රියදුරු අසුනට යාබද ඉදිරිපස අසුනට පහලින් කකුල තබා ගන්නා ස්ථානයේ ෆ්ලෝර් බෝඩය දිරා ගොසිනි.
ඒනිසා එතැනින් බැලූවිට මාර්ගය පෙනේ.කකුලක් වුවද එතැනින් දමා පාර පෑගිය හැකිය.
එහි භයංකාරත්වය වසන්නට හා හදිසියෙන්වත් කකුලක් යෑමෙන් වලක්වාලන්නට ඒමත කාපට් එකක් දමා ඇත.
වාහනය ගමන් ගන්නා විට, නොදන්නා කෙනෙක් කාර්පට් එකමත බරට කකුල තැබුවෝතින් කකුලට සිදුවන්නේ කුමක්දැයි අමුතුවෙන් කිව යුතු නැත.
බොහෝයතුරුවලින් මෙම වාහනයේ දොරවල් ඇරිය හැකිවා පමණක් නොව වාහනය පණ ගැන්වීමටද හැකියාව ඇත. මේ බව දැන හුන්නේ මමත් මාගේ අනෙක් කල්‍යාණ මිතුරා වූ දිනේශ් ද පමණය.

දිනක් භාතිය වාහනය පීඨ භූමිය තුල නවත්වා දේශණ සඳහා ගියේය.
මමත් දිනේශුත් ඊට මොහොතකට පසු පැමිණියේ එම දේශණයටම සහභාගී වීමටය.

වාහනය දුටු අපට පහල වූයේ අපූරු අදහසකි.

ඒ අනුව අප දෙදෙනා, මා ලඟ තිබූ යතුරකින් වාහනය පණ ගන්වා වෙනත් ස්ථානයකට රැගෙන ගොස් නැවැත් වූයෙමු.

දේශණය අවසන අප සියල්ලන්ම සායනික කටයුතු සඳහා පිටත් වීමට එලියට පැමිණියෙමු.
භාතිය වාහනය නැවැත්වූ තැන දැන් වාහනය නැත. දෙලෝ රත්වී ඔහු වාහනය සොයයි.
වාහනයට වූ දේ ගැන විවිධ හේතු පැහැදීම්ද, විමර්ශනාත්මක අදහස්ද, බොහෝදෙනා ඉදිරිපත් කරති.
එහෙත් තවමත් වාහනය සොයාගත නොහැක.
බහුතරයකගේ මතය වූයේ කිසිවෙකු හෝ වාහනය සොරා ගන්නට ඇතැයි කියාය.
ඒ සමඟම මතුව ආ අනෙක් තර්කය වූයේ එතරම් අවදානමක් දරා මෙතරම් අබලන් වාහනයක් සොරාගන්නා කව්දැයි කියාය.

කෙසේ හෝ අවසාන තීරණය වූයේ විශ්ව විද්‍යාල ආරක්ෂක අංශයට හා පොලීසියට මේ බව පැමිණිලි කරන්නටය.

දැන් වැඩේ දුර දිග යන බව මටත් දිනේශ්ටත් තේරුම් ගියේය.

මෙහිදී අප දෙදෙනාට අන් අයගෙන් වසන් කලයුතු කාරණයක් වූයේ ඕනෑම යතුරකින්රථය පණ ගැන්විය හැකි බවය.

එය එළි වුනෝතින් දිනපතාම මේ සිද්ධිය අන් අය විසින්ද කරනු ඇත.
එසේ වීම අප මිතුරාට මෙන්ම අපටද හිසරදයක් විය හැක.
මන්ද වාහනය හොයනවා හැරෙන්නට වෙනත් කටයුත්තකට අපට කාලයක් ඉතිරි නොවනු ඇත.

එනිසා අප දෙදෙන වහා ඉදිරිපත් වී පැමිණිල්ල සඳහා අප දෙදෙනා පමණක් භාතිය සමඟ යෑමට කටයුතු කර අනෙක් සියල්ලන් ඔවුන්ගේ කටයුතු සඳහා පිටත් කර යැවීමු.

සියල්ලන්ම පිටත්වූ පසු කාරණය පැහැදිලි කර වාහනය සොයාදුන්නද විහිලුව හේතුවෙන් මිතුරාගේ ඇසේ ඇති වූ රත ඉවත් වීමට නම් ටික කලක් ගත විය.

පසුව සියල්ලන්ම සිතුවේ භාතියට අමතක වී වාහනය වෙනත් තැනෙක නවැත් වූවා කියාය.

විශ්ව විද්‍යාලයෙන් පිටවූ පසු අප සියල්ලන්ටම සේවය සඳහා රටේ විවිධ ස්ථානයන්ට විසිරී යන්නට සිදුවිය.

නමුත්, අප කාටවත් කෙටි චාරිකා වේ පුරුද්ද නම් හැරුනේ නැත. අප සියල්ලන්ම සිටින සිටින තැන්වල් එකතුවන පිරිස් සමඟ චාරිකාවේ යෙදුනෙමු.

මමත්, බිරිඳත් පත්වීම් ලැබ ගාල්ලට ගිය විට, එහිදී මේ සඳහා අපූරු මිතුරෙකු හමු විය.
ඒ අපත් සමඟ එකට සේවය කල වෛද්‍යවරයෙකු වූ නවින්දුය.
විවිධ පොතපත පරිශීලනයෙන් හා ඇසූපිරූ තැන් ඇති මොහු හා සමඟ චාරිකාවේ යෙදීම ආශ්වාද ජනකය.ඒ දිනවල ඔහුත් සමඟ ගාල්ලේ බොහෝ තැන් වල චාරිකාවේ යෙදුනෙමු.

ගාල්ලෙන් මාරු වීම් ලැබ මා ගියේ මහියංගනයටය.

අපගේ නවින්දු මිතුරාට ඌව පළාතේ සංචාරයක් කිරීමේ අශාවක් උපන්නේය.
මටද මේ පළාතේ හරි හමන් සංචාරයක් කිරීමට තරම් නියමාකාරයෙන් (“සෙට් වන”) පුද්ගලයන් හමුවූයේ නැත.
මා, මහියංගනයෙන් මාරුවීම් ලැබ යන්නට ආසන්නයේදී පමණ, නවින්දු හා මා තීරණය කලේ ඌව පළාතේ, දින දෙකක පමණ කෙටි සංචාරයක් කිරීමටය.

සංචාරය සංවිධානය කලේ මමය.
මේ සඳහා කියාපු මෝටර් බයිසිකලයක්, මා නතරවී සිටි නිවෙස් හිමි දිසානායක මහතාට තිබුනු අතර ඔහු එය මට ලබාදීමට එකඟ විය.

දින දෙක තුල බොහෝ ස්ථාන නැරඹීමට අවශ්‍ය වූ බැවින් දින කිහිපයකට පෙර සිටම මා පොත පතින් හා සිතියම් ඇසුරින් චාරිකාච සැලසුම් කළෙමි.
යන ස්ථාන වලට අමතරව ඒ ස්ථාන ගැන කෙටි හැඳින්වීමක්ද කිරීමට මා කරුණු කිහිපයක් සොයාගතිමි.

අදාල දිනයේදී නවින්දු ගාල්ලේ සිට බදුල්ලට පැමිණියේය.
ඔහු පිළිගන්නට මා උදෑසනින්ම මහියංගණයේ සිට බදුල්ලට ගියෙමි.
අප හමු වූයේ මුතියංගන විහාරය ඉදිරිපිටදීය.
සැලසුමට අනුව චරිකාව ඇරඹෙන්නේද එතැන් සිටය.

ඒ අනුව අදාල ස්ථානයන් ගැන පොතපතින් අහුලාගත් තොරතුරු මතකයේ හැටියට ඇද බාන්නට වූයේ, ඔහුට ඒ ස්ථාන ගැන යම් අදහසක් ලබාදීමේ අරමුණෙනි.
විස්තර අසා සිටින ඔහුගේ මුහුණෙහි කිසිදු ආශ්වාදයක් හට නොනැඟුනි.
මොහොතකින් මාගේ කථාව නැවැත්වූ ඔහු, ඕක ඔහොම නෙවෙයිනේ,... මේ ස්ථානය හැදුවේ ක්‍රි.ව......., සියවසේ,.....රජතුමා,.......,මෙන්න මේ හේතුව නිසා.... ඊට පස්සේ මේකට මෙහෙම වුනා..... මෙහි නම ඇතිවුනේ මෙන්න මේ හේතුව නිසයි... කියාගෙන කියාගෙන ගියේය.

එතැනින්ම මම මාගේ විස්තර කථනය නැවැත්වූයේ ග්‍රන්ථ රචකයෙකුට තම පොත් ගැන වෙනත් කෙනෙකුන් කියා දෙන්නට හදනවා වැනි වැඩක් මා කළ බැව් වැටහුනු නිසාය.

මේ ගැන සිහි කරන හැම විටකම ඔහුටද මටද නැඟෙන්නේ එකම සිනහවකි.

මහියංගනයෙන් මාරු වීම් ලැබ මා නැවත නුවර ප්‍රදේශයට පැමිණෙන විට දිනේශ් මිතුරාද නැවත නුවරට පැමිණ සිටියේය.

දැන් නැවතත් පරණ පුරුද්දට වාගේ අප දෙදෙනා ලැබෙන විවේකයන්හි කෙටි චාරිකාවල යෙදෙමු. එකලට වඩා වගකීම්ද, බැඳීම්ද දැන් තිබුනත් චාරිකාවකින් ලබන්නාවූ ආශ්වාදය හා විවේකය පෙර සේම බව හැඟෙයි.

චාරිකාවකින් අපට ලැබෙන්නේ දැනුම හා විනෝදය පමණක්ම නොවන බව මාගේ වැටහීමයි.
ගමනක විඩාවක් තිබුනද විඩාව ඉක්මවූ විවේකයක් චාරිකාව තුලින් මනසට ලැබේ.

නොදැනුවත්ව හෝ ගත කරන ඒකාකාරී ජීවිතයෙන් අප මුදවමින් විවිධත්වයේ සුන්දරත්වය කියා දෙන්නට චාරිකාව සමත්ය.

පෙර සූදානමක් නොමැති කෙටි චාරිකා වලට හුරු වුනෝතින් අප අවටින්ම අප නුදුටු ස්ථාන කෙතරම් අපට වසන්ව ඇත්දැයි තේරුම් යන්නට වැඩිකලක් ගත නොවනු ඇත.

ශ්‍රී ලංකාව තරම් විවිධත්වයෙන් අනූන වෙනත් රටවල් ඇත්නම් ඒ අතලොස්සක් විය යුතුය.

උග්‍ර නාගරීයත්වයේ සිට ඉතා පිටිසර ග්‍රාමීයත්වය කරාද, ශුෂ්ක දේශගුණයක සිට ඉතා සිසිල් සෞම්‍ය දේශගුණයක් කරාද,ගමන් කිරීමට මේ රට තුල ගත වන්නේ පැය කිහිපයක් වැනි සුලු කාලයකි.
ඒ කාලය තුල විවිධ සමාජීය පැතිකඩයන්ද අත් විඳීමට ඉඩ ලැබෙනු ඇත.
සංකීර්ණ සමාජ ව්‍යුහහයන් මෙන්ම සරල ආදිවාසී සමාජ ව්‍යුහයන්ද, විවිධ වූ ආගමික හා සංස්කෘතික අනන්‍යතාවයන්ටද උරුමකම් කියන මේ දේශයෙහි වැසියන් වීම කෙතරම් භාග්‍යවන්තකමක්ද?

එහෙත් හිසක් නැති රියදුරන් පැදවූ රියක් බවට අප රට පත් වූයේ රියදුරාගේම වරදින් නොව එවන්වූ රියදුරන් ඉතා ආශාවෙන් පත් කරනු ලබන අප රට වැසි සියල්ලන්ගේම වරදින් බව සිතේ.

ඒ මට හිතෙන හැටිය.